April 26, 2024

විජයදාස ඇමැති ධූරයෙන් ඉවත් කරයි? අගමැතිගෙන් ජනපතිට ලිපියක්

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් අස්‌කිරීම සම්බන්ධව එජාපය ගත් තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්‌ඩු පක්‍ෂ එජාප මැති ඇමැතිවරුන් හමුවේ ඊයේ (21) ප්‍රකාශ කර ඇත.

එජාප ආරංචි මාර්ග සඳහන් කළේ විජයදාස රාජපක්‍ෂ මහතාට එම ධුරයෙන් ඉවත් වීමට එජාපය ඊයේ (21) තෙක්‌ කල්දී තිබූ නමුත් විජයදාස රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්‌ නොවුණු හෙයින් ඒ මහතා ඉවත් කිරීමට අදාළ ලිපියක්‌ ද අගමැති විසින් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ඇතැයි බවයි.

ඒ අනුව අද (22) දිනය ඇතුළත විජයදාස රාජපක්‍ෂ මහතාට ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සිදුවනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්‌ඩු පක්‍ෂයේ එජාප මැති ඇමැතිවරු කණ්‌ඩායම අරලියගහ මන්දිරයේදී ඊයේ (21) සවස හමු වූ අවස්‌ථාවේදී අගමැතිවරයා මේ බව එම මන්ත්‍රී කණ්‌ඩායම හමුවේ පවසා ඇත.

මෙම රැස්‌වීම සඳහා ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා සහභාගි නොවීමද විශේෂත්වයකි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති චෝදනාවට ඔහු මෙතෙක් කිසිදු පිළිතුරක් ලබාදී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ (20) රැස්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැනුම් දී ඇත.

විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම නොසලකා කටයුතු කර ඇති බවත් පසුගිය රජයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කරන බවටත් පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැඩි ලෙස සාකච්ජාවට ලක්විය.

එහිදී අදාළ කරණා සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය මංගල සමරවීරගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක්ද පත් කරනු ලැබීය.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පිළිබඳව හැකි ඉක්මනින් තීන්දුවක් ගත යුතු බවයි.

ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කොට ඒ පිළිබඳ තීරණයකට එළඹෙන බව අග්‍රාමාත්‍යවරය එහිදී දැනුම් දී ඇත.

විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තීරණාත්මක දිනයක් ලෙස සැලකුණු ඊයේ දිනයේ ඔහු පිළිබඳව සාකච්ජා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් මෙලෙස රැස් වුණි.

එම රැස්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසූවේ විජයදාස රාජපක්ෂ මහතා පිළිබඳව ප්‍රශ්න මතු වුණ බවත් අද වන විට පිළිතුරක් දීමට යෝජනාවක් ලැබී ඇති බවත්ය.

එජාප තීරණයේ වෙනසක්‌ නෑ

විජයදාස රාජපක්‌ෂ මහතා අධිකරණ ඇමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්‌විය යුතු බවට එක්‌සත් ජාතික පක්‌ෂය දරන තීරණයේ කිසිදු වෙනසක්‌ නැතැයි එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතා ප්‍රකාශ කරයි.

අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති ආණ්‌ඩු පක්‌ෂ රැස්‌වීමේදී මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බවද ඔහු සඳහන් කළේය.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 23 August 2017 10:14