January 24, 2018

එජාපය නවත්වන්න යකෙකුටවත් බැරි බව අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඒ ඊයේ (18) පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“පොදු හතුරා විනාශ කරන්න අපි එකතු වුණා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු සන්ධාන ආණ්ඩුවට බලය දුන්නා. ඒ හින්දා අපි අමාරුවෙන් අවුරුදු 25කට පස්සේ වතුරෙන් නහය එළියට දා ගත්තා. නහය විතරයි අපේ එළියේ තියෙන්නේ. ආණ්ඩුව අරික්කාලක අපි ඉන්නේ. හැබැයි අපි බය නැහැ. රනිල් වික්‍රමසිංහ පගා ඉල්ලුවේ නැහැ, රනිල් කොමිසන් ඉල්ලුවේ නැහැ. ඒකයි අපිට මඩ ගහලා අපිව නවත්තන්න හදන්නේ. මඩත් ගැහුවේ නැත්තම් එක්සත් ජාතික පක්ෂය යකාටවත් නවත්තන්න බැහැ. අපි කිව්වා බැඳුම්කර කොමිසම දාන්න රිපෝර්ට් එක ඉතුරු 34ක් ගෙනල්ලා කියල කිව්වා.”

“නැව් පිටින් ගිලපු උන් ඉන්නවා එතන. රට පිටින් ගිල්ල එවුන් ඉන්නවා එතන. අර කතාවක් තියෙනවා ආච්චි අම්මට පොඩි වාතයක් ගියාම කක්කුස්සි ගිලපු වුන් කියනවලු අම්බෝ ගදයි කියලා. කක්කුස්සිය බඩ ඇතුලේ. මම නෙවෙයි කිව්වේ රෙජිනෝල්ඩ් කුරේ මහත්තයා. අනිත් එවුන්ට හොරු හොරු ගානවා. පොඩි ගදක් ආපුවම. මන්ත්‍රීකම, ඇමතිකම අවුරුදු 10යි, 15යි දැරුවේ. උසාවි තුනක් ගැසට් කරලා ඉවරයි මහ අධිකරණ තුනක්. මොකා හොරා වුණත් කමක් නැහැ. හිරේ දාලා තමයි පස්ස බලන්නේ කියලා ආදරෙන් මතක් කරනවා මේ රටේ ජනතාවට.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

ආණ්ඩුවේ දේශපාලන රැස්වීම්වලට පාක්ෂිකයන් ප‍්‍රවාහනය කිරීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ යොදාගෙන ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි රැසක් ලැබී ඇතැයි වාර්තා වේ.

එම කොමිසමේ ලේකම් හේමන්ත හේරත් මහතා සඳහන් කළේ එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන අතර ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ඒ පිළිබඳව තොරතුරු ලබාගන්නා බවයි.

ආණ්ඩුවේ නායකයන්ද සහභාගි වන රැස්වීම්වලට ලංගම බස්රථ යොදවා පාක්ෂිකයන් ප‍්‍රවාහනය කිරීමේ පැමිණිලිවලට අමතරව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් රැසක් සම්බන්ධ පැමිණිලි ගලාඑමින් තිබෙන බවද හේරත් මහතා පෙන්වා දුන්නේය.

ඒ අතර හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ නීතිවිරෝධී ක‍්‍රියාවන් නතර කිරීම සඳහා ඉකුත් සිකුරාදා විශේෂ කණ්ඩායමක් යොදවා මෙහෙයුමක් දියත් කළ බවද හේරත් මහතා පැවසීය.

මැතිවරණය ඉලක්ක කර ගනිමින් බඩු භාණ්ඩ බෙදාදීම, අනවසර කාර්යාල පවත්වාගෙන යාම, කටවුට් ආදිය ප‍්‍රදර්ශනය කිරීම, මාර්ග දෙපස කොඩි ආදිය ප‍්‍රදර්ශනය කිරීම හා රාජ්‍ය දේපොළ අනිසි ලෙස පරිහරණය කිරීම සම්බ්නධයෙන් වන සිද්ධීන් රැසක් එම මෙහෙයුමේදී නතර කළ අතර ඒ සම්බන්ධයෙන් නීති ක‍්‍රියාමාර්ග ගත් බවද මැතිවරණ කොමිසමේ ලේකම්වරයා සඳහන් කළේය.

බැඳුම්කර වාර්තාවේ පිටු 103 ක් අතුරුදන් වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ඒ ප්‍රකාශයේ සඳහන් කරනවා බැඳුම්කර වාර්තාවේ පිටු 1257ක් තිබෙනවා කියලා. අන්තර්ජාලයට මුදා හැර තිබෙන වාර්තාවේ තිබෙන්නේ පිටු 1154යි. පිටු 103ක් අඩුයි. අපිට මතකයි රවී කරුණානායක මන්ත්‍රීතුමා සඳහන් කරනවා එතුමාට වාර්තාවේ පිටපතක් කලින්ම ලැබුණා, මේකේ අසත්‍ය කරුණු අඩංගු නිසා ප්‍රසිද්ධ කරන්න බැහැ කියලා. අපිට සාධාරණ සැකයක් මේ අවස්ථාවේ මතුව තිබෙනවා රවී කරුණානායක මැතිතුමා අසත්‍යයි කියලා විශ්වාස කරන කරුණු වාර්තාවෙන් ඉවත් කළ නිසාද පිටු 103කින් වාර්තාව අඩු වුණේ. මේ වාර්තාව පිලිබඳ ජනතාවගේ විශ්වසනීයත්වයක් ගොඩ නැගීමට නම් අතිගරු ජනාධිපතිතුමන් ජාතියට ප්‍රකාශ කළ යුතුයි මේ පිටු 103ට මොකද වුණේ?”

“ 854 වෙනි පිටුවේ ඉතා වැදගත් දෙයක් සඳහන් වෙනවා. 2015 මාර්තු 17 වෙනිදා පාර්ලිමේන්තුවට කරන ප්‍රකාශයේ සදහන් වෙනවා අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර නිකුතුවට මැදිහත් වුණේ නැහැ කියලා. හැබැයි කොමිසම කියනවා ඒක වැරදි ප්‍රකාශයක් කියලා. ඒ කියන්නේ කොමිසමත් පිලිගන්නවා අගමැතිතුමා පාර්ලිමේන්තුව නොමග යවන ප්‍රකාශයක් සිදු කර තියෙනවා කියලා. මෙයම හොදටම ප්‍රමාණවත් අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්න. මේ කොමිසන් සභා වාර්තාව අනුව අගමැතිතුමා ඉල්ලා අස්විය යුතුයි. නැතිනම් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් ඔහුව ඉවත් කිරීමට පාර්ලිමේන්තුව වහාම පියවර ගත යුතුයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන පක්ෂයේ සාමාජිකයන් සිටි නම්, ඔවුන් පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීමට තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවත් කමිටු නිර්දේශය අනුව ක්‍රියා මාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කල සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

“අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි. බලයට පත් වී ටික කලෙකින් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාවක් නැගුණා. අපි එය පාපිස්ස යටට දැම්මේ නෑ. 

සති දෙකක් ඇතුළත විමර්ෂණ කමිටුවක් පත් කළා. විමර්ෂණ කාලය තුළ මහබැංකු අධිපති රාජකාරි කටයුතුවලින් ඉවත් වුණා. පාර්ලිමේන්තුව දැනුවත් කළා. පාර්ලිමේන්තුවට වුවමනා නම් තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස මම දැනුම් දුන්නා. විමර්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙතෙක් කල් කෝප් කමිටුවේ සභාපතීත්වය දැරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. වත්මන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතිත්වය විපක්ෂ මන්ත්‍රීවරයෙකුට දුන්නා. කමිටුව මගින් බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවාද කළා.

මේ වාර්තාව පිළිබඳ සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා 2016 ඔක්තෝබර් 31 වන දා නීතිපතිවරයාට යොමු කළා. මේ ගැන, විශේෂයෙන්ම පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ගැන වැඩි දුර පරීක්ෂණ පැවැත්විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා මා සමගත් සාකච්ඡා කර ජනාධිපති කොමිසම පත් කළා. 

කොමිසමේ කටයුතුවලට අපි සහය දුන්නා. අපේ ඇමතිවරු කොමිසම හමුවට ගියා. මමත් ගියා. චෝදනාවක් එල්ල වූ විට එය විමර්ෂණය කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කළ කිසිම ආණ්ඩුවක් නෑ. තුන් වතාවක් අප මේ ගැන පරීක්ෂණ කළා. 

පසුගිය ආණ්ඩුව සමයේ අවස්ථා ගණනාවකදීත් මේ ආකාරයෙන් චෝදනා එල්ල වුණා. නමුත් ඒ කිසිම අවස්ථාවක ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කළේ නෑ. පාර්ලිමේන්තුවට කරුණු හෙළි කළේ නෑ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවන්හි පවා පිළිතුරු දුන්නේ නෑ. 

ලංකාවේ මුල්‍ය පාලනය සතු පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවේ මේ බලය අමතක කර තිබුණා. අපි පාර්ලිමේන්තුවේ මුල්‍ය පාලන බලය යලිත් තහවුරු කිරීමටයි කෝප් කම්ටුව සහ පාර්ලිමේන්තුවට මේ වගකීම භාර දුන්නේ.ඒ  වගකීම එතනින් ඉවත් කිරීමට බැහැ. 

පාර්ලිමේන්තුව සිය මුල්‍ය පාලන බලතල නිසි අයුරින් පාවිච්චි කළ අවස්ථාවක් ප්‍රදර්ශනය කිරීමක් ලෙස බැඳුම්කර සිදුවීම උඩ අපි දැක්කා. 

ආණ්ඩුව විනිවිද භාවයෙන් යුතුව ක්‍රියා කරන බවට හොඳම උදාහරණයක්. 

මේ බැඳුම්කර නිසා පර්පචුවෙල් ට්‍රේෂරිස් සමාගම අයුතු ලෙස බිලියන 9.2 ක් උපයා ගෙන ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන්. මා ඇමති ධූරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලියන 12 ක මුදලක් රඳවා ගෙන තිබෙනවා. 

ඒ නිසා කොමිසම නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9. 2 ක් නැවත ලබා ගන්න පුළුවන්.  අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා.  

එවිට මේ මුළු මුදලම රජයට ලබා ගන්න පුළුවන්. රජයට කිසිදු අලාභයක් සිදු වන්නේ නෑ. ඒ වගේම මේ වංචාවට කිසියම් හෝ නිලධාරීන් පිරිසක් හවුල් වේ නම් ඒ අයට නීතිය අනුව ක්‍රියා කරනවා.

බැඳුම්කර පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ පටන් ඒ සඳහා අවශ්ය  විමර්ෂණ කරන්නට අපි උපරිම සහය දුන්නා. දැන් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් අපි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. අපේ ආණ්ඩුව ප්‍රතිපත්ති ගරුක, විනය ගරුක, ශීලාචාර ආණ්ඩුවක් බව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා. 

මෑත ඉතිහාසයේ මේ ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කළ අවස්ථාවක් අප දුටුවේ නැහැ. අපේ ඇමතිවරු සම්ප්‍රදාය කඩ කිරීම පිළිබඳව ඉල්ලා අස්වුණා. නීතිය ක්‍රියාත්මක වුණා. ඇඟිලි ගැසීම් නොමැතිව අධිකරණය තීන්දු දුන්නා. ජනතාව නිදහසේ අදහස් දැක්වූවා. ජනමාධ්‍ය බයක් නැතුව කටයුතු කළා. 

ඒ විතරක් නෙවෙයි. වාර්තාවෙන් චෝදනා ලබන අපේ පක්ෂයේ සාමාජිකයන් ඉන්නවා නම්, ඒ අය පිළිබඳව සොයා බලා තීරණයක් ගන්නට අපි තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ කමිටු නිර්දේශය අනුව අපි ක්‍රියා මාර්ග ගන්නවා.

ඒ එක්සත් ජාතික පක්ෂය සාම්ප්‍රදායයි. ඒ අප ඇති කරමින් ක්‍රියාත්මක කරන සම්ප්‍රදායයි. අපේ පක්ෂයේ සම්ප්‍රදාය සහ යහපාලන සංකල්පය අනුව යමින් අපි රට හදනවා. ගම හදනවා. යහපත් හෙටක් මේ රටට උදා කරනවා. 

ජනවාරි 08 වන දා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනස, යහපත් සමාජය අපි උදා කරනවා. එය එක දවසින්, එක රැයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ විභාගයත් එයට ආරම්භයක් ලෙස සලකන්න පුළුවන්. අපි අතීතයත් වර්තමානයත් පිළිබඳව එක සේම අවධානය යොමු කරනවා. අපි හරි පාරේ ඉදිරියට යනවා. වැරදි නිවැරදි කර ගන්නවා. අඩුපාඩු සකස් කර ගන්නවා. 

බැඳුම්කරය පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ සිට මේ දක්වා අප ගත් ක්‍රියා මාර්ග මගින් පෙන්නුම් කරන්නේ අප හොඳ ආරම්භයක් ගෙන ඇති බවයි. අප සොයා බලන්නේ පසුගිය රජයේ දූෂණ වංචා ගැන පමණක් නෙවෙයි. වර්තමානයේ එල්ල වන දූෂණ චෝදනා ගැනත් අප සොයා බලනවා. විමර්ෂණය කරනවා. නිසි පියවර ගන්නවා.

අපේ රටට යහපත් අනාගතයක් උදා කර දීම අපේ අරමුණයි. අපේ රට යහපත් හා පොහොසත් රටක් බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ අරමුණ ජය ගැනීම සඳහා අපි එකට එකතුව කටයුතු කරමු. අභියෝග ජය ගනිමු. බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.”

 

සංහිදියාව නාමයෙන් රට බෙදන්න සැලසුමක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ ඊයේ (18) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.

“මේ රටේ නැවත මේ සමගිය ඇති වෙන්න ඕනේ. මෙයාලා මේ සමඟිය නැති කරන්න සංහිදියාව කියලා මේ රට බෙදන ගිවිසුමක් අරගෙන ඇවිල්ලා රට කෑලිවලට කඩලා. එතනින් ඇති විය හැකි ප්‍රතිපලය භයානක ප්‍රතිපල. ඒක නිසා මේවා පිළිබදවත් අවබෝධ කර ගන්න. මේක පිළිබඳව හිතන්න. රට ගැන හිතන්න. ඔබේ දරුවා ගැන හිතන්න. අපි දෙමල වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්, බර්ගර් වෙන්න පුළුවන්. අපි සියලුදෙනාම එක අම්මගේ දරුවෝ වගේ මේ රට ගොඩ නගන්න, මේ නගරය ගොඩනගන්න සූදානම් විය යුතු යැයි අපි විශ්වාස කරනවා. 10 වෙනිදට පොහොට්ටුව අමතක කරන්න එපැයි කියලා තමුන්නාන්සේලාට මතක් කරනවා.”

දේශපාලනඥයින් අතර සිටිනා දූෂිතයින් වංචාකාරයින් හොරුන් සියලූ දෙනා අවීචි මහා නරකාදියට ගියදාට පසුවදා තමන් ගෙදර යන බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවසීය.
 
ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සීතාවකපුර නගරසභාවේ හා ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනරැලියක් අමතමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද අදහස් දැක්වීය.
 
‘‘සමහරු මගෙන් අහනවා මේ පුටුවෙන් බැහැලා මම ගෙදර යන්නේ කවද්ද කියලා මෙම මේකේ හැමදාම ඉන්න ආවේ නැහැ. නමුත් ගෙදර යන්නේ දේශපාලඥයින් අතර සිටින හොරුන්, දූෂිතයන්, වංචාකරුවන් සියලූ දෙනා හිරගෙදරට යැව්වට පස්සේ ඔවුන් සියලූ දෙනා පොළොව පළාගෙන අවීචි මහා නරකාදියට ගියදාට පහුවදා මම ගෙදර යනවා. පෙබරවාරි දහ වැනිදායින් පසුව දූෂණයට වංචාවට එරෙහිව මම පාරට බහිනවා. පක්ෂ පාට භේදයකින් තොරව මේ රටට ආදරය කරන් දූෂණයට වංචාවට එරෙහි සියලූ දෙනා එකතු කරගෙන දූෂණයට වංචාවට එරෙහි ජනතා ව්‍යාපාරයක් ගොඩනගනවා. ඒ වෙනුවෙන් මාත් සමග එකතු  වන ලෙස රටට ආදරය කරන සියලූ දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.‘‘

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන මඩ ප්‍රකාශ නොකරන ලෙස තමා එජාප මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊවේ (17) අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ය.

එහිදී ඔහු මෙසේද පැවසී ය.

“මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ගහන්න එපා කියල මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙළෙහි ගුණ තියන්න. අපේ පක්ෂයට පොඩ්ඩක් කෙළෙහිගුණ අඩුගතියක් තියෙනවා. අමාරු අවස්ථාවක උදව්වට ආපු එකාට ගහන්න එපා.‘ යැයි පැවැසීය.

“අපට ජනාධිපති අපෙක්ෂකයෙක් නැතිවෙලාවේ ඒ මනුස්සයා අපේ පිහිටට ආවේ නැද්ද. එයා ආවට පස්සේ එයාව ජනාධිපති කරල එයා මාර්ගයෙන් අගමැති පුටුවත් අරගෙන අපට 41යි තිබුණේ එයා මාර්ගයෙන් ආණ්ඩවත් හදාගෙන දැන් කියනවා පික් පොකැට් කාරයාලු හොඳද වැඩේ. ඒක හොඳ නෑනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බැඳුන්කර හොරු අල්ලන එක වැරැදිදි හරිද. රංජන් රාමනායක බැඳුන්කර හොරකම කළා නම් රංජන් රාමනායකත් ඉන්න ඕනේ ඇතුළේ.‘ යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරුටත් පැවසී ය.

හිටපු අගවිනිසුරු වන මොහාන් පිරිස් හා හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් හා වර්තමාන අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නාවස් සහ හිටපු ලංකා විදුලිබල පෞද්ගලික සමාගම (ලෙකෝ) හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස්ට යන අයට අල්ලස් කොමිසම අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරිණි.

ඔවුන්ට මාර්තු 8 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සිතාසි නිකුත් කළේය.

මොහාන් පිරිස් මහතා නීතිපති ධුරය දරන කාලයේ ලෙකෝ සමාගමේ ඉඩම් හා දේපල මිලදී ගැනීමේ දී සිදුවු බව කියන දුෂණ හා අක්‍රමිකතාවලට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිම වැළැක්වීම සඳහා අයුතු සහගත ලෙස නිතිපති වාර්තාවක් ලබාදීම යන චෝදනාව යටතේ මෙසේ නඩු පවරන ලදි.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් 20 දෙනෙක් හා නඩු භාණ්ඩ 19 ක් ද අල්ලස් කොමිසම විසින් නම් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන් සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාරදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම ලිපිය ඉදිරියේ දී මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත යොමු කරනු ලබයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත බව අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

අද රාත‍්‍රියේ දී අගමැතිවරයා මෙම විශේෂ ප‍්‍රකාශය කිරීමට නියමිත බව වාර්තා වේ.

එම විශේෂ ප්‍රකාශය සිදු කරන්නේ කුමන කරුණක් අරඹයාදැයි හෙළිදරව් වී නැති අතර එය බොහෝ දුරට මේ වන විට කතාබහට ලක්වන සිද්ධි පිළිබඳ විය හැකි බවට වාර්තා වේ.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව එක්සත් ජාතික පෙරමුණ විසින් පවත්වනු ලබන මංගල රැළිය අද (18) මහනුවරදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිටදී මෙම රැළිය පැවැත්වේ.

Page 5 of 1677