January 24, 2018

කැපවුණ ආණ්ඩුවේ කට්ටියගේ අද චරිත ඝාතන කරන්න හදනවා යැයි හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ ඊයේ (21) උතුරු කොළඹ කොච්චිකඩේ ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුවය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“දණ ගස්සපු ආර්ථිකයක් තමයි අපිට දුන්නේ. ඒ මහින්ද රාජපක්ෂ ඇතුළුව ඒ ආණ්ඩුවේ තමයි එස්.බී. දිසානායකලා හිටියේ, සුසිල් ප්‍රේමජයන්තලා හිටියේ. දයාසිරි ජයසේකරලා හිටියේ. ඒ ආණ්ඩුවේ තමයි මහින්ද අමරවීරලා හිටියේ. ඒ ගත්ත ආණ්ඩුවේම තමයි ජෝන් සෙනවිරත්නලා හිටියේ. අද මුන් කතා කරන්නේ මොකක්ද? අපට දුකයි. කැපවුණ ආණ්ඩුවේ කට්ටියට අද චරිත ඝාතන කරන්න හදනවා. පේනවනේ දයාසිරි ජයසේකර මොකද කියන්නේ කියලා. එයා දයාසිරි හිටියේ මහින්ද රාජපක්ෂත් එක්ක. අද නිකන් මැරිලා ඉපදුණා වගේ කතා කරන්නේ.”

“අපි මේ කියන්නේ අපට බය නැති නිසා. අද අපේ චරිත ඝාතනය කරන්න හදනවා. අද බලන්න මහින්දානන්ද අලුත්ගමගේ අල්ලස් දුෂණ කොමිසමේ ඔක්කොම ඉවරයි. එයාගේ නෝනට මිලියන් 500ක්ද, 50ක්ද, 5000ක්ද ගෙව්වයි කියලා කියනවා. අද චරිත සහතිකයක් එනවා ඔක්කොම ඉවරයි කියලා. මේවා යහපාලනේ ලකුණු නෙවෙයි. අද කොමිසමේ වාර්තාව එළියට ඇවිල්ලා තියෙනවා. මොනවද කියලා තියෙන්නේ? කියපු දේ විකෘති කරලා තියෙන්නේ. යන්නේ වමට කියන එක කියලා තියෙන්නේ දකුණට යනවයි කියලා. මම 23  වෙනිදා ප්‍රකාශයක් කරනවා මේ කරපු අපරාධය අපි මුළු ජනතාවටම කියලා දෙනවයි කියන එක මේ අවස්ථාවේදී අපි මතක් කරන්න කැමතියි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන රැලි මාලාවේ උඩුනුවර ආසනයේ ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගෙලිඔය නගර මධ්‍යයේදී පැවැත්විණි.

එම ජනරැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන අපේක්ෂකයින් ඇතුළු පාක්ෂිකයින්ද සහභාගි වී සිටියහ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැලිය ඇමතීමෙන් පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පස්වරු 5.15ට පමණ ජනරැලියට එක්විය.

පසුව හිටපු ජනාධිපතිවරයා රැලිය අමතමින් සඳහන් කළේ රැලියට පැමිණ ඇති ජනතාවේ හිස් ගොඩ දැක්කම හෙට තමාට තවත් බැණුම් ඇසීමට සිදුවන බවයි.

මෙලෙස ජනරැලිය අමතමින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එම කතාව බාධා කරමින් පුද්ගලයෙකු මහ හඩින් කියා සිටියේ “සර් කතාකරන්න එපා අපිටයි කතා කරන්න ඕන ජයවේවා සර් ජයවේවා“ යනුවෙනි.

එම කතාව අසා සිටි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “මම එහෙනම් ඔයගොල්ලන්ට කතා කරන්න ඉඩ දෙන්නම්කෝ. දැන් කොහොමද පෝර ටික ලැබෙනවද.“

එම වීඩියෝව පහතින්,

සාගල රත්නායක, වජිර අබේවර්ධන, තිලක් මාරපන, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පහුගිය ආණ්ඩුවේ හොරු ආරක්ෂා කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ ඊයේ (21) පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“දැන් මොකද වුණේ අවුරුදු 3යි. ඇල්ලුවද හොරු? හොරු ඇල්ලුවා නෙවෙයි හොරු ආරක්ෂා කළා. මතක තබා ගන්න සාගල රත්නායක, වජිර අබේවර්ධන, තිලක් මාරපන, රනිල් වික්‍රමසිංහ පහුගිය ආණ්ඩුවේ හොරු ආරක්ෂා කළා. මන් කියනවා ටී.වී නාලිකා වලට කරුණාකරලා ඒ කෑල්ල දාන්න. දැම්මහම එයිනේ ඒ ගොල්ලෝ නෑ කියාගෙන. සාගල රත්නායක කිව්වොත් හොරු රැක්කේ නැහැ කියලා. රනිල් කිව්වොත් හොරු රැක්කේ නැහැ කියලා. වජිර අබේවර්ධන කිව්වොත් හොරු රැක්කේ නැහැ කියලා. තිලක් මාරපන කිව්වොත් හොරු රැක්කේ නැහැ කියලා. අපි හෙළිදරව් කරන්නම් ඒ ගොල්ලෝ හොරු රැක්ක විදිය.”

“තමුන්නාන්සේලාගෙන් අපි අහන්නේ ඡන්දේ ඉවර වුණාම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවද පෙබරවාරි මාසේ 10 වෙනිදගෙන් පස්සේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් නම් අපට ඡන්ද හම්බුවෙලා තියෙනවා. මේ ඡන්ද ඔක්කොම හම්බුනේ ඥාතිකමට, යාළුකමට. එහෙම කියනවද? අපි පාර්ලිමේන්තුවේ නැගිට්ටොත් බැදුම්කරේ ගැන කියන්න හා දැන් ඕගොල්ලෝ ඕක කියන්න එපා. ඕගොල්ලෝ ඕක ගාල්ලටත් කිව්වා. ගාල්ලේ මිනිස්සු බැදුම්කරේ හොරකමක් සිදු නොවූ බව අනුමත කොට ඇත. තමුන්නාන්සේලා කරන වැඩෙන් අපෙත් කටවල් වැහෙයි ඡන්දේ දුන්නොත්. මන් දැක්කා පෝස්ටර් ගහලා තියෙනවා මහින්ද මහත්තයා අගමැති කරන්න ඡන්දේ දෙන්න කියලා. මේ ඡන්දෙන් මහින්ද මහත්තයා අගමැති කරන්න පුළුවන්ද? ඇත්තටම මේක බොරුවක්. ඇයි ඒ බොරුව කියන්නේ? ඒ බොරුව කියලා ගමේ භාණ්ඩ ටික විකුණා ගන්න බැහැ. ගමේ සෙට් එක ගැන ගමේ අය දන්නවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

ජාති, ආගම්, වර්ණ බේදයෙන් තොරව මේ රටේ සියලු ජනතාව එක්ව තමා ජනාධිපති ධුරයට පත් කරගත්තේ නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් මෙන්ම පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් පිළිබඳ අසීමිත අපේක්ෂා පෙරදැරිව බවත් සැමදා ජනතාව සමග කටයුතු කරමින් එම අභියෝග ජය ගන්නා බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (21) පස්වරුවේ මඩකලපුව ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

ජනහමුව ඇමතු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජාති, ආගම් බේදයකින් තොරව රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.

සංවර්ධනයෙන් අතපසු වූ මඩකලපුව දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය වේගවත් කරමින් ජනතා ගැටලු විසඳීම සඳහා තමා සමග කටයුතු කිරීමට නව සංවිධානයක් දිස්ති‍්‍රක්කය තුළ ස්ථාපිත කරන බව ද මෙහිදී පැවසු ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කරවිය යුතු බව ද කියා සිටියේය.

රට ඉදිරියට ගෙන යාමට සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ජාති, ආගම් බේදයකින් තොරව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැඳගන්නා ලෙස ද මෙහිදී ජනතාවට ආරාධනා කළ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ මුදල් සොරාකෑ කිසිවෙකුට ජනතාව සමාව නොදිය යුතු අතර ඒ කිසිවෙකුට සමාව දීමට තමා ද සූදානම් නොමැති බව අවධාරණය කළේය.

ක්‍රීඩාංගණයට රැස්ව සිටී ජනතාවගෙන් මෙහිදී ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.

පසුගිය වසර තුන පුරා එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික කළමනාකරණයට ඉඩ දී තිබුණත්, මෙම වසරේ සිට එම වගකීම තමා අතට ගන්නා බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ඒ සඳහා මීට තෙමසකට පෙර ජාතික ආර්ථික සභාව පත් කළ බව පැවසූ ජනාධිපතිවරයා ඒ හරහා රටේ ආර්ථිකය ඉදිරියට මෙහෙයවමින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා කෑගල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

දේශිය කර්මාන්ත, දේශීය නිෂ්පාදන සහ දේශීය ආයෝජන සියල්ල ආරක්ෂා කරමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම තමා භාරගන්නා බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා රට හැර නොගොස් මාතෘභූමිය ගොඩනැගීමට එක්වන ලෙස තමා සියලු දේශීය කර්මාන්තකරුවන්ගෙන් මෙන්ම ආයෝජකයින්ගෙන්ද ඉල්ලා සිටින බව ප‍්‍රකාශ කළේය.

ස්වාභාවික සම්පත්වලින් අනූන අපේ රට ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමට කිසිදු බාධාවක් නොමැති අතර ඇති එකම බාධාව දූෂිත දේශපාලනය බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා දූෂිත දේශපාලනයට තිත තැබීමේ ගමන තමා මෙම පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන මැතිවරණයත් සමග ආරම්භ කරන බවද කියා සිටියේය.

එමෙන්ම රටේ සියලු ආගමික නායකයින් උගතුන්, බුද්ධිමතුන් සහ රටේ සියලු ජනතාව එකම කොඩියක් යටතට ගෙන එමින් මේ රට දූෂණයෙන්, වංචාවෙන් තොර ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ස ගොඩනැගීමේ ගමන ද එම මැතිවරණ ජයග‍්‍රහණයත් සමග අරඹන බව ජනාධිපතිවරයා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වෙන ජනහමු මාලාවේ කෑගල්ල දිස්ති‍්‍රක් ජන හමුව මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් කෑගල්ල පොළ භූමියේදී පැවැත්විණි.

ජනාධිපතිකම දුන්නොත් තමන් කරන හැටි ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඒ ඊයේ (22) පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී හිටපු ජනාධිපතිනිය මෙසේ අදහස් දැක්වීය.

“අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හොරකම් කරන්නේ නැහැ. රජයේ ඇමතිවරු කිහිපදෙනෙක් ඇරෙන්න හොරු නෙවෙයි. ජනාධිපතිතුමා කියන්නේ නැහැ තොපිලා ඕනේ තරම් හොරකම් කරපල්ලා. අහුවෙන්න විතරක් එපා කියලා හිටපු ජනාධිපති කිව්වා වාගේ. මම පුළුවන් තරම් උගුරට ලේ එනකන් හොරකම් කරපු මිනිස්සු ගෙන්නගෙන බණ දෙසනවා මම ජනාධිපති කාලේ. එයා කියනවා අර ගෑණි වාගේ මන් ඇගිලි ගහන්න එන්නේ නැහැ. තමුසෙලා ඕනේ තරම් හොරකම් කරපල්ලා, අහු වෙන්න විතරක් එපා. රාජපක්ෂ පාලනය හරහා රටේ නීතිය, සාමය සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කෙරුවා. මත්කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා නියෝජ්‍ය ඇමැතිවරු කෙරුවා. කැසිනෝ කාරයෝ රජ කෙරෙව්වා. ගෑනු දුශිතයෝ ප්‍රාදේශීය සභා වල සභාපතිවරු කෙරෙව්වා. ඉතින් රටක් ගෙනියන්න පුළුවන්ද? මේ නිසා තමයි මේ රටේ වැදගත් ජනතාව ඒ මහා පෙරළිය ඇති කලේ. සමහරු විවේචනය කරනවා උනුත් එකයි, මුනුත් එකයි කියලා. උනුත් හොරු මුනුත් හොරු. මුන් ඒ තරම් හොරු නෙවෙයි.”

“ජනාධිපතිතුමා, අගමැතිතුමා හොරකම් කරන්නේ නැහැ. ජනාධිපතිතුමා ඔක්කොම හොරුන්ට එරෙහිව දැන් කටයුතු කරගෙන යනවා. හැබැයි ඔක්කොම මිනිස්සු අපිට රත්තරනින් අඹලා ගන්න බැහැ. එක්කෝ හොරු ටික ඔක්කොගෙම බෙල්ල කපලා මුහුදට විසි කරන්න ඕනේ. මටනම් චාන්ස් එක තිබුණා නම් මම ඒක තමයි කරන්නේ. නමුත් අපේ ජනාධිපතිතුමා ඒක කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ හදාගෙන ඉදිරියට යනවා. මහ බැංකුවට පත් කරපු මනුස්සයා හොදටම සුදුසුකම් තියෙන ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් තියෙන පුද්ගලයෙක්. ඒ මිනිහා කාලා බැලුවේ නැහැනේ. අපි දන්නේ නැහැ හොරකම් කරයි කියලා බෑණත් එක්ක එකතු වෙලා. හැබැයි වහාම ඔහුව ඉවත් කරලා ජනාධිපති කොමිසන් සභා පත් කරලා, මොනාද වුණේ කියලා සොයා බලලා දැන් නීතිය ඒ අයට විරුද්ධව කටයුතු කරනවා. වැරදි කරපු ඇමතිවරු  3න් දෙනෙක්ට ගෙදර යන්න සිද්ධ වුණා. ඒක තමයි යහපාලනය කියන්නේ.” යැයිද ඒ මහත්මිය වැඩිදුරටත් පැවසීය.

ලබන පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කායික දුබලතාවයෙන් යුතු තැනැත්තන් විසින් විශේෂ ප්‍ර‍වාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීමට හිමිකම් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙම පහසුකම් සඳහා වූ අයදුම්පත්‍ ඡන්ද විමසීම පවත්වනු ලබන දිනයට දින හතරකට පෙර එනම් පෙබරවාරි 03 වන දින හෝ ඊට පෙර අදාළ තේරීම්භාර නිලධාරි සෑහිමට පත්වන්නේ නම්, එම තැනැත්තා හට විශේෂ ප්‍ර‍වාහන පහසුකම් ලබා ගැනීම සඳහා අවසර පත් නිකුත් කළ හැකිය.

]2002 අංක 01 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතින් ප්‍ර‍ධාන ප්‍ර‍ඥප්තියට ඇතුළත් කරන ලද 82 උ 4 (ඈ) වැනි වගන්තිය අනුව, යම්කිසි කායික දුබලතාවයක් නිසා යම් තැනැත්තෙකුට පයින් හෝ ශ්‍රී ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලය හෝ යම් ප්‍රාදේශීය ගමනා ගමන මණ්ඩලයක් හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවේ දුම්රිය සේවය හෝ යම් මහජන ප්‍ර‍වාහන සේවාවක් විසින් සපයනු ලබන ප්‍ර‍වාහන සේවාවක් මඟින් ඡන්ද පොළට යාම ඊම කළ නොහැකි නම් තමාට ඡන්ද පොළට යාමට ඊමට සඳහා ස්වකීය ඡන්ද විමසීම් ප්‍රදේශයේ තේරීම් භාර නිලධරයා වෙත තමා විසින්ම හෝ එසේ නොමැති නම් තමා වෙනුවෙන් අපේක්ෂකයෙකු නොවන වෙනත් අයකු විසින් හෝ ඉල්ලුම් පත්‍ර‍යක් ඉදිරිපත් කළ හැකිය.

 

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 700ක් එකතු කරන තාප විදුලි ජනනය ස්වාභාවික ද්‍රව වායු ඉන්ධන විදුලි නිෂ්පාදන ව්‍යාපෘතියකට පරිවර්තනය කිරීම මගින් ඩොලර් මිලියන එකසිය පනහක් හෙවත් රුපියල් මිලිය 23,250ක පමණ මහා මූල්‍ය වංචාවකට සූදානම් වන බවට ප‍්‍රබල සැකයක් මතු වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචිමාර්වලින් හෙළි වේ.

ස්වාභාවික ද්‍රව වායු බලාගාර බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන තුන් සීයයක් වැය කර ඊට අදාළ ඉන්දීය, ජපන් හා ශ‍්‍රී ලංකා හවුල්කාර සමාගමක් පිහිටුවීමට යෝජනා කර ඇත.

අගමැතිවරයා පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින ඉන්දියාව සමග අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් අනුව එම ව්‍යාපෘතිය ඇරඹීමට නියමිත බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එහෙත් එම ව්‍යාපෘතිය සඳහාම ඕස්ට්‍රේලියාවේ සමාගමක් ඉදිරිපත් වී තිබෙන අතර එම සමාගමට අදාළ ව්‍යාපෘතිය සඳහා වැය වන්නේ ඩොලර් මිලියන එකසිය පනහක් හෙවත් රුපියල් මිලියන 23,250ක් පමණ බවද අනාවරණය වේ.

ඩොලර් මිලියන තුන් සියයක් වැය වන ව්‍යාපෘතියට ලංකාවේ ආණ්ඩුව අනුමැතිය ලබා දී ඇති අතර ඒ වෙනුවෙන් පිහිටුවන සමාගමේ කොටස්වලින් 47.5%ක් ඉන්දියාවටත් 37.5%ක් ජපානයටත් ඉතිරි කොටස් 15% ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා දීමටත් නියමිත බව හෙළි වේ.

මේ අනුව ලංකාවේ විදුලි බල ස්වාධීනත්වය රටට අහිමි කිරීම ආරම්භ කෙරෙන අතර එම විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමේ පිරිවැය රුපියල් 05ක සිට රුපියල් 13 හෝ 14 දක්වා ඉහළ යාමට මෙම දූෂිත ව්‍යාපෘතිය නිසා සිදු වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනතුරු ඇඟවයි.

සිංගප්පූරුවේ සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඕනෑම මොහොතකදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇතැයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසයි.

අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලාංකික පුරවැසියකු නොවුවද, සිංගප්පූරු ජාතිකයකු ලෙස සිටියද ඔහුව අත්අඩංගුවට ගැනීමට වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවත්නා නීති රාමුව ප්‍රමාණවත් බවද එම නීතියට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවද නීතිපතිවරයා පෙන්වා දෙයි.

විදේශීය සංචාරකයකු ශ්‍රී ලාංකික නොවන පුද්ගලයකු මෙරට තුළ අපරාධයක් කළහොත්, ශ්‍රී ලංකාවේ නීතියට පටහැනිව කටයුතු කළහොත් ඔහු හෝ ඇය අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇති බවද ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයාට අදාළව ශ්‍රී ලංකා නීතිය හැරදැමිය නොහැකි බවද ඔහු සඳහන් කරයි.

පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එවන ලද බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශන කොමිසමේ වාර්තාව ලැබීමෙන් පසුව එය නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් වෙත භාරදී ඇති බවද ඔවුන් එය විමර්ශනයෙන් අනතුරුව සිවිල් හා අපරාධ අංශ වෙත ලබාදීමට නියමිතව ඇති බවද නීතිපතිවරයා ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව හිටපු මහ බැංකු අධිපතිවරයාට සහ ඔහුගේ බෑනාට එරෙහිව කුමන ආකාරයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේද යන්න පිළිබඳව විමසා බලන බවද නීතිපතිවරයා කියා සිටියේය.

සියලු කරුණු සහ සාක්ෂි නඩු පැවැරීමට පෙර පරීක්ෂාවට ලක් කිරීමට සිදුවන බැවින් නීතිමය ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට කොපමණ කාලයක් ගතවනවා දැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවද කෙසේ වුවද නීතිමය ක්‍රියාදාමය ඉක්මනින් ඉටුකිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව දැඩි ලෙස සැලකිල්ලට යොමු කර කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කතරගම නගරයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය කළ වෙඩි තැබීමෙන් එක්‌ පුද්ගලයකු මිය යෑමෙන් පසු විරෝධතාවේ යෙදෙමින් කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 100ක් පමණ ඊයේ (21) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 15 දෙනකු සිටින බවයි.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කතරගම පොලිසියට ද දැඩි අලාභහානි සිදුවී තිබේ. ඒ කලහකාරීන් විසින් ගල්මුල් හා පොලු වලින් පහරදීම හේතුවෙනි. මීට අමතරව කතරගම පොලිසියේ පරිපාලන ගොඩනැඟිල්ල, පොලිස්‌ නේවාසිකාගාර ගොඩනැඟිල්ල, ස්‌ථානාධිපතිවරයාගේ නිල නිවස ඇතුළු නගරයේ දේපළ රැසකටම හානි සිදුවී තිබේ.

සිද්ධියත් සමඟ නගරයට එක්‌ රොක්‌ වූ පිරිස්‌ කලහකාරි ලෙස හැසිරුණු අතර පොලිසිය අවස්‌ථා කීපයකදීම කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කර ඔවුහු විසුරුවා හරිනු ලැබූහ. එහෙත් යළි ඊයේ සවස ද පිරිස කහලකාරි ලෙස හැසිරෙමින් ටයර් පුළුස්‌සා දමමින් පොලිසියට සිය විරෝධය පළකර තිබේ.

මේ අතර කලහකාරි ලෙස හැසිරුණු තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක්‌ අරඹා තිබිණි. අත්අඩංගුවට ගත් සියලු කලහකාරීන් තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පෙරේදා (20) රාත්‍රි කතරගම ප්‍රාදේශීය සභාවේ සේවකයකු යතුරුපැදියකින් ගමන් ගන්නා අවස්‌ථාවේදී රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස්‌ නිලධාරියකුගේ වෙඩි පහරකට ලක්‌ව මියගොස්‌ ඇත.

මියගිය පුද්ගලයා රාත්‍රි 11 ට පමණ සිය මිතුරකු සමග යතුරුපැදියෙන් ගමන්ගන්නා විටදී කතරගම ප්‍රාදේශීය සභාව ආසන්නයේ මුර සංචාරයේ නිරතව සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා යතුරුපැදියට අතපා නතර කරන ලෙස අණකර තිබේ. යතුරුපැදිය ටික දුරක්‌ ගොස්‌ පොලිස්‌ අණ පරිදි නතර කරනවාත් සමගම යතුරුපැදිය පදවාගෙන පැමිණි සිය මිතුරාට පොලිස්‌ නිලධාරියා විසින් වෙඩි තැබූ බව යතුරුපැදියේ පසුපස ගමන් ගත් දැනට තුවාල ලබා කතරගම දිසා රෝහලේ ප්‍රතිකාර ලබන ආර්. නුවන් මහතා පවසයි.

මෙම වෙඩි තැබීමෙන් මියගොස්‌ ඇත්තේ කතරගම නාගහවීදිය පදිංචිව සිටි පතිරණලාගේ නිරෝෂන් (25) නමැති එක්‌දරු පියෙකි. හෙතෙම හිසට වෙඩි වැදී බරපතළ තුවාල ලබා මියගොස්‌ තිබේ.

මෙම වෙඩි තැබීමත් සමග කුපිත වූ කතරගම ජනතාව ඊයේ (21) අලුයම 1 ට පමණ කතරගම පොලිසියට පැමිණ පොලිසියේ වීදුරු ජනෙල්වලට පහරදී ජීප් රථයකටද අලාභ හානි කර ඇත. මෙම අවස්‌ථාවේදී පොලිසිය විසින් කඳුළු ගෑස්‌ සහ අහසට වෙඩි තබමින් උද්ඝෝෂකයන් පලවා හැරීමට ක්‍රියා කර ඇත. පසුව පොලිස්‌ විශේෂ කාර්ය බළකාය කැඳවා පොලිසියට ආරක්‍ෂාව ලබාදී ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න

Page 3 of 1677