January 24, 2018

වංචාවක් සිද්ධ වී ඇති බවත් වංචාව වසා ගැනීම සඳහා අගමැතිතුමා ජාතිය ඇමතූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ ඊයේ (22) ගාල්ලේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ දේශපාලනය අතිශය ලාභ ලබන ව්‍යාපාරයක්. ගම්වල කතා බහ ඉස්සර තිබුණේ කුඩු විකුණන එක තමයි වඩා ලාභ. හැබැයි කුඩු විකුණන එක ලාභ වගේම අවධානම්. කුඩු විකුණ විකුණ ඉන්නකොට පොලීසිය දැක්කොත් වෙව්ලනවා. හැබයි දේශපාලනයේ මන්ත්‍රීතුමා දැක්කම පොලීසිය වෙව්ලනවා. සැලියුට් ගහනවා. ඒ නිසා දේශපාලනය කියන්නේ ගරු කටයුතු මංකොල්ල කෑමක්. අද රටේ ආන්දෝලනයට තුඩු දී තිබෙන දැවැන්තම මංකොල්ලය බැඳුම්කර මංකොල්ලය සිද්ධ වුණේ පෙබරවාරි 27 2015 අවුරුද්දේ. ආණ්ඩුව ජනවාරි 08 දින 50ක් නෑ රටේ ජනතාව සියලුදෙනා මහත් බලාපොරොත්තුවකින් හොරු අල්ලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා මහත් බලාපොරොත්තුවකින් හොරකමක් කරන්න.”

“මන් දැක්කා අමුතු කතාවක්. ජාතිය ඇමතීම. මාරු ජාතිය ඇමතීම. වංචාවක් සිද්ධ වෙලා තියෙනවා වංචාව වසා ගැනීම සදහා ජාතිය අමතන්නත් තියෙනවා. ඉස්සර සාමාන්‍යයෙන් ජාතිය අමතන්නේ මොකටද? රටට වැදගත් පණිවිඩයක් දෙන්න. අද ජාතිය අමතනවා හොරෙක් ආරක්ෂා කරලා ඒක හෙළිදරව් වුණාට පස්සේ හොරකමත්, හොරා රකින්නත්. අපේ රටේ අද සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ට අහු වෙච්ච රටක්. අවුරුදු 70ක් අපේ රට මුහුදු මංකොල්ල කාපු කණ්ඩායමකට වගේ අහුවෙලා තියෙනවා. අහුවෙලා කොච්චරද කියනවා නම්  ජනතාවට දැන් අහු වෙන බව තේරුනෙත් නැහැ. ඒ තරමට අහු වුණා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

රන්ජන් රාමනායක මහතා පසුගිය දිනක අධිකරණ විනිසුරුවරුන් දුෂිත බවට කළ ප්‍රකාශය හරහා අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව පිලිබඳ සොයා බලන බව පෙත්සම්කාර පාර්ශවයේ නිතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා පවසා සිටියේ රන්ජන් රාමනායක මහතාගේ අදාළ ප්‍රකාශය සහිත වීඩියෝ පට පරික්ෂා කිරීමෙන් අනතුරුව වැඩිදුර ක්‍රියාමාර්ග ගන්නා බවයි.
 
සිසිර ද අබෘෘ, නලීන්  පෙරේරා සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම නැවත කැඳවනු  ලැබිණි.

අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කළ පැණිබීම බෝතලවල ඇති සෑම සීනි ග්රැම් එකකට සත 50 ක බද්දක් අය කිරීමේ වැඩපිළිවෙලට සහන ලබා දෙන ලෙස පැණිබීම සමාගම් ඉල්ලා ඇතත්, කිසිදු සහනයක් ලබා නොදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පැණිබීම සමාගම් වල නියෝජිතයින් තමන් හමු වී සහන ඉල්ලා සිටි බවත්, සහන ලබා දිය යුත්තේ ජනතාවට බවත් අමාත්‍යවරයා අනාවරණ කරයි.

බෝ නොවන රෝග පාලනය කිරිම සදහා පැණිබීම වර්ග වලට වර්ණ සංකේත ක්‍රමයක් පළමුව හදුන්වා දෙන ලදි.

ඉන් පසු අයවැය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, එම වැඩපිළිවෙල අඛණෟඩව ඉදිරියට ගෙන යන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

මේ පිළිබද ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර ලෝක බැංකු ආධාර යටතේ ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලැබී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව බෝනොවන රෝග වලින් වාර්ෂිකව ලොව පුරා ජනගහනයෙන් සියයට 70 ක් පමණ මිය යන බව අනාවරණ වී තිබේ. ශ්‍රී ලංකාව දෙස බැලීමේ දී දියවැඩියා රෝගයෙන් මිය යන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ සදහා ප්‍රධාන වී ඇත්තේ අධික සීනි පරිභෝජනයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ වසරක දී ලොව පුරා ලක්ෂ 50 ක් පමණ දියවැඩියා රෝගයෙන් පමණක් මිය යන බවයි.

එම නිසා සීනි පරිභෝජනය අවම කිරීමට කටයුතු කරන බවත්, කුමන බලපෑම් එල්ල වුවද එය නතර නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් පවත්වන ලද සමස්ත ලංකා පාසල් තරග වල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සම්මාන සහ සහතික පත්‍ර පිරිනැමීම වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේ පැවැති උත්සවයක් අමතමිනි.

මහ බැංකු බැදුම්කර ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාව අද (23) පළමු වරට සභාගත කරන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසයි.

බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා විශේෂ පක්ෂ නායක රැස්විමක් ඊයේ (22) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පක්ෂ නායක රැස්වීම උදෑසන 09.30ට පමණ ආරම්භ වූ බව වාර්තා වේ.

 

 

ලංකා භූමිතෙල් තොග වශයෙන් අලෙවි කිරීම තහනම් කරමින් දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත නියෝගයක් නිකුත් කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය.

මේ අනුව අද සිට ලංකා ‍භූමිතෙල් රථවාහනවලට, කර්මාන්තශාලාවට, බවුසර්වලට සහ තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට නිකුත් කිරීම නීති විරෝධී කටයුත්තක් වන බවද සභාපතිවරයා පැවසීය.

එවැනි වරදක් සිදු කළහොත් ඉන්ධන පිරවුම්හලට සීල් තබන බවත් අදාළ තැනැත්තාගේ ඉන්ධන බෙදාහැරීමට ලබාදී තිබු බලපත්‍රය අහෝසි කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ලංකා භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් ලෙස භූමිතෙල් වර්ග දෙකක් වෙළඳපොළේ විකිණීමට ඇති බවත් ලංකා භූමිතෙල් යනු සාමාන්‍ය පරිභෝජනය සඳහා රජයේ සහනාධාරය යටතේ අඩු ආදායම් ලාභී ජනතාවට සහ ධීවර ප්‍රජාව ඉලක්ක කර අලෙවි කෙරෙන භූමිතෙල් බවත් එම භූමිතෙල් රතු පැහැයෙන් යුක්ත බවත් සභාපතිවරයා සඳහන් කරයි.

2015 වර්ෂයේ ලංකා භූමිතෙල් අලෙවිය හා 2017 වර්ෂයේ පසුගිය මාසවල ලංකා භූමිතෙල් අලෙවිය සංසන්දනය කරන විට ලංකා භූමිතෙල් පරිභෝජනය වැඩි වී ඇතැයි ද අනාවරණය වී ඇත.

ඩීසල්වලට භූමිතෙල් කලවම් කළහොත් එම වරද සිදුකරන පිරවුම්හල්ද තහනම් කරන බව පවසමින් දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත චක්‍රලේඛනයක් නිකුත් කරමින් දැන්වූ බව ඔහු පැවසී ය.

ලැබී ඇති පැමිණිලි පිළිබඳව කඩිනම් හදිසි පරීක්ෂණ සිදුකිරීම වැඩිකර ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කතරගම නගරයේ නොසන්සුකාරි ලෙස හැසිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනා ඇප මත මුදාහැර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදාහැරි බවයි.

ඔවුන් රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප සහ තවත් ඇප කොන්දේසි කිහිපයක් මත මුදාහැර තිබේ.

ඒ අනුව ලබන 28 වනදා කතරගම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත්, සෑම මසකම අවසන් ඉරිදා දිනයේ පෙරවරු 09.00ත් 12.00ත් අතර කාලය තුළ කතරගම පොලිසියේ පෙනී සිටි ලෙසත්, මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කරන තෙක් මෙවැනි කලහාකාරි සිදුවිම් සිදු නොවිමට වග බලාගන්නා ලෙස සහ නැවත එවැනි කලහාකාරි ලෙස කටයුතු කළහොත් බන්ධනාගාර ගත කරන බවට යන ඇප කොන්දේසිවලට යටත්ව ඔවුන් මුදා හැර ඇති බව පොලිසිය පැවසී ය.

පසුගිය 20 වනදා රාත්‍රියේ කතරගම ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මරණයට පත්විමේ සිද්දියට විරෝධය පල කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (21) දිනයේ කතරගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

එහිදී ඔවුන් නොසන්සුකාරි ලෙස හැසිරි ඇති අතර තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය.

ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්යය බලකාය ද යොදවා තිබූ අතර එහිදී කලහාකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිසිය කටයුතු කර තිබිණි.

යාපනයේ මණ්ඩතීව් මුහුදු වෙරළ අසල බෝක්කුවක් යට සඟවා තිබූ කිලෝ ග්‍රෑම් පහක පමණ වන බෝම්බයක් පෙරේදා (20) දින පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙම බෝම්බය එල්.ටී.ටී.ඊ සංවිධානය සතු බෝම්බයක් බවට පොලීසිය සැක කරන නමුත් එවැනි බෝම්බයක් කිසිවෙකුත් නොදැක මෙපමණ කාලයක් තිබීම ගැන සලකා බලන විට එම බෝම්බය මෙතැනට ගෙනැවිත් දමන්නට ඇත්තේ දින කීපයකට පෙර කවුරුන් විසින් හෝ බවටද සැකයක් පහළ වී තිබේ.

පළාතේ ධීවරයින් දෙදෙනෙකු විසින් මෙම බෝම්බය මුලින්ම දැක ඇති අතර ඔවුන් විසින් ඒ පිළිබදව පොලීසියට තොරතුරු දී තිබේ.

එම බෝම්බය පෙට්ටියක බහා හොදින් ආවරණය කොට තිබූ නිසා බෝම්බ පරිහරණය පිළිබදව ඉතා හොද දැනුමක් ඇති අයෙකු විසින් මෙම බෝම්බය මෙතනට රැගෙන විත් ඇති බවද පොලීසිය සැක පලකර සිටියේය.

කෙසේ වෙතත් යාපනය පොලීසිය පැමිණ එම බෝම්බය රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

වවුනියාව දිස්ත්‍රිකයේ වවුනියාව උතුර (නෙඩුන්කේණී) ප්‍රාදේශීය බල සභා ප්‍රදේශය තුල සිංහල වැසියන් බලහත්කාරයෙන් පදිංචි කොට සිංහල කොළණි බවට පත් කොට තිබීම නිසා දෙමළ දේශපාලනඥයින්ට එය විශාල අසාධාරණයක් බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පවසයි.

වවුනියාවේ පැවති දේශපාලන සාකච්ඡාවකදී අදහස් දැක්වූ ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ නෙඩුන්කේණි ප්‍රාදේශීය සභාව සදහා මෙවර සිංහල අපේක්ෂකයින් පස් දෙනෙකු ඉදිරිපත් වීමට තරම් වවුනියාවේ සිංහල ජනතාව බලහත්කාරයෙන් පදිංචි කරවීමේ තත්ත්වය උග්‍ර වී ඇති බවයි.

වවුනියාව ඇතුළු උතුරු ප්‍රදේශය තුල සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන් සහෝදරයින් මෙන් ජීවත් වනු දැකීම දෙමළ ජාතික සන්ධානයේද අපේක්ෂාව වුවත් පිටස්තර ප්‍රදේශ වලින් සිංහල ජනතාව බලහත්කාරයෙන් රැගෙනවිත් පදිංචි කොට සිංහල කොළණි ඇති කොට ඉන් දේශපාලන වාසි ලබා ගැනීම සම්බන්ධයෙන් පමණක් දෙමළ ජාතික සන්ධානය විරෝධය පලකරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දකුණේ පවුල් 5000 ක් පමණ වවුනියාවට රැගෙන විත් වවුනියාවේ කැලෑ බෝගස්වැව පළාතේ පදිංචි කොට දැනට වසර දහයක් පමණ වන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඔවුන්ට රජයෙන් සහන සැලසීම අඩු වන විට උතුරේ මන්ත්‍රීවරුන් පිට එම වරද පටවන බවද කියා සිටියි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වවුනියාවේ සිටින සිංහල ජනතාව සමග ඉතා සමීපව සිටින බවත් සංවර්ධන කටයුතු මෙන්ම සෙසු කටයුතු වලදී ඔවුන්ටද ප්‍රතිලාභ භුක්ති විදීමට අවස්ථාව සලසා දී ඇති බවත මන්ත්‍රීවරයා කියා සිටියි.

නමුත් දකුණේ සිංහල ජනතාව ඉතා විශාල කණ්ඩායම් වශයෙන් වවුනියාවට රැගෙනවිත් ජනපද පිහිටුවා එතැනින් නතර නොවී ඔවුන්ව දෙමළ ප්‍රදේශවල දේශපාලන කටයුතු සදහාද යෙදවීම දෙමළ ජාතික සන්ධානයට පක්ෂයක් වශයෙන් එකග විය නොහැකි කාරණයක් බව ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

(දිනසේන රතුගමගේ)

කොට්ටේ යට තියාගෙන ඉන්නේ නැතුව පහුගිය කාලේ මුල්‍ය අපරාධ පිළිබඳ කරපු විමර්ශනයේ 34 වාර්තාව එළියට දාන්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ඒ පෙරේදා (21) මාතර, අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අපි කියනවා කොට්ටේ යට තියාගෙන ඉන්නේ නැතුව පහුගිය කාලේ මුල්‍ය අපරාධ පිළිබඳ කරපු විමර්ශනයේ 34 වාර්තාව දාන්න එළියට. ඒ වාර්තාවේ තියෙනවා මහින්ද යාපා කියන්නේ කවුද?, විමල් විරවංශ කියන්නේ කවුද?, මහින්දානන්ද කියන්නේ කවුද?, ජයසුන්දර කියන්නේ කවුද?, ප්‍රේමසිරි කියන්නේ කවුද?, චන්ද්‍රපාල කියන්නේ කවුද? ලැයිස්තුව අපි කියන්නම්. බැසිල් රාජපක්ෂ කියන්නේ කවුද? මොනවද කලේ කියලා. ඇයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒක එළියට දාන්නේ නැත්තේ? අපි අභියෝග කරනවා. එතකොට බලාගන්න පුළුවන් මහ බැංකුව මංකොල්ල කාපු කට්ටියයි, අනිත් ඒවා මංකොල්ල කාපු කට්ටියයි දෙගොල්ලොම කවුද කියලා. මේ දෙගොල්ලම හොරු තමයි. ඒක හින්දා අහු වෙන්න එපා.”

අගමැති හා ජනාධිපති අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බවත් එළිපිටම යුද්දේ පටන් ගෙන ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ ඊයේ (21) පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“අද මේ හිස් ගොඩ දැක්කම මන් හිතන්නේ මට හෙට තවත් බැනුම් අහන්න වෙනවා. දැන් ඉවසගෙන ඉන්න පුළුවන් රනිල් බනින කොට. මොකද ඒක අපිට විරුද්ධ හින්දා. අපේ සහෝදරයෙක් ඇහුවා මොකද මේ මෛත්‍රී කියන ඒවට උත්තර දෙන්නේ නැත්තේ කියලා. මන් කිව්වා මොකට උත්තර දෙන්නද? ජනතාව එක පාරක් රැවටුණා, දෙවෙනි වතාවේ රැවටෙන්නේ නැහැ. මොකෝ දෙකේ රැවටුනොත්, තුනේ රැවටෙන්න වෙන්නෙම නැහැ. හේතුව මොකද තුන වෙනකොට වැඩේ රටම භාර දීලා ඉවරයි. ඊලාම් රාජ්‍යයේ කොටස්වලට කැඩිලා. ඒකයි අවසානයේ වෙන්නේ. බලන්න අවුරුදු තුනක් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා තමුන්නාන්සේලා තරහා වෙන්න එපා මට නුවර කිසි වැඩක් කරන්න බැරි වුණානේ මේ අවුරුදු තුනේ. නුවරට විතරක් නෙවෙයි රටටම වැඩක් කරලා නැහැ.”

“දැන් කියනවා අපිව නරකාදියට අරන් යනවා කියලා. නරකාදියට යනකන්ම එයා යන්නේ නැතිලු. එයාටත් අමතක වෙලා දැන් එන අවුරුද්දේ මැතිවරණය. මේකේ අගමැති, ජනාධිපති සීතල යුද්ධයක්. එළිපිටම යුද්දේ පටන් අරන්. බලාගෙන ඉන්නේ අලියා පරද්දන්න. බලාගෙන ඉන්නේ බුලත් කොලේ පරද්දන්න. බලාගෙන ඉන්නේ අත පරද්දන්න. අනිත් එක මේ ආණ්ඩුවට පන්දම් අල්ලන, මේ ආණ්ඩුවේ කොටස් කාරයෙක් වෙලා ඉන්න සීනුවට මොනාද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. පරද්දලම දාන්න.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Page 2 of 1677