May 27, 2020

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන සහරාන් හෂීම් සමග ස්වයං ඝාතනයට දිවුරුම් දුන් පුද්ගලයින්ගෙන් එක් අයෙකු තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහු මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බවත් ඒ පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණ වී තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ ලබාදුන් සාක්ෂි අනුවය. ඔහු කටුවපිටිය දේවස්ථානයේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ප්‍රධාන නිලධාරියා වේ.

ප්‍රහාරයෙන් අනතුරුව උදැසන 10.45ට පමණ කටුවපිටිය දේවස්ථානය වෙත ගිය තමන්ට ස්වයං ඝාතන බෝම්බය පුපුරුවා හැරි සැකකරුගේ හිස කොටස දේවස්ථානයේ බංකුවක් මත තිබියදී නෙත ගැටුණු බව ඔහු කොමිසම හමුවේ සඳහන් කර ඇත.

බෝම්බකරු “හස්තුන්” නමැති පුද්ගලයෙකු බවට අනාවරණ කර ගැනීමට හැකිවූ බවද ඒ අනුව, 2019 වසරේ අප්‍රේල් 26 වැනි දින තමන් හස්තුන් නමැත්තාගේ දෙමාපියන් පදිංචිව සිටින වාලච්චේනේ පිහිටි නිවසට ගිය බවද එහිදී ඔහුගේ මව, පියා සහ සොහොයුරාගේ ලබාගත් සාම්පල, ප්‍රහාරකයාගේ හිසෙහි සාම්පල හා සැසදෙන බවට සිය විමර්ශනයේදී අනාවරණ වූ බවද ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මහතා කොමිසම හමුවේ පෙන්වා දී තිබේ.

කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදුන් අමරසිංහ පෙන්වා දුන්නේ 2019 වසරේ පෙබරවාරි මස 4වන දින මොහොමඩ් මුබාරක් නමැත්තෙකු විසින් කටුවපිටිය දේවස්ථානයට නුදුරේ පිහිටි දොන් ඬේවිඩ් මාවතේ නිවසක් සිය නමින් කුලී පදනම මත ලබාගෙන ඇති බවයි.

හස්තුන් නමැති ප්‍රහාරකයා එම නිවසේ රැඳී සිට ඇති බව තමන් ආරක්ෂිත කැමරා දර්ශනවලින් අනාවරණ කරගත් බවද ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් අනාවරණ කළේය.

අමාත්‍ය රවුෆ් හකීම් සහ පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් අතර සිදුව ඇති සාකච්ඡාවලට අදාළ තවත් වීඩියෝ දර්ශන නුදුරේදීම හෙළිකරන බව නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාන් මරූෂ් මහතා පවසයි.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ, සහරාන් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක දර්ශන පසුගිය 18 වැනිදා හෙලි කිරීමෙන් පසු තමන්ට මරණ තර්ජන එල්ල වන බවයි.

සහරාන් හෂීම් සහ රවුෆ් හකීම් අමාත්‍යවරයා අතර 2015 මහමැතිවරණ සමයේදී සිදුව ඇතැයි පැවසෙන සාකච්ඡාවක දර්ශන පසුගිය 18 වැනිදා මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය විසින් ප්‍රසිද්ධ කරනු ලැබුවේය.

බොම්බයක් අත්හදා බැලීමකදී තුවාල ලැබූ සහරාන් හෂීම්ගේ සොහොයුරා පෞද්ගලික රෝහලකින් රජයේ රෝහලක් වෙත මාරු කිරීමට අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සහාය ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවැසීය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව  පැවැසීය.

සහරාන්ගේ සොහොයුරාද පසුව කාන්තාන්කුඩියේදි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

“අපි පැහැදිලිවම දන්නවා සහරාන්ගේ මල්ලි කරළියට එන්නේ බෝම්බ පිපිරීම් සිද්ධියක් එක්කයි. බෝම්බ පිපිරීමකදී පෞද්ගලික රෝහලකින් මේ පුද්ගලයා ප‍්‍රතිකාර ගන්නවා.   පසුව දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත රජයේ රෝහලකට මාරුකර යවනවා. අද රවුෆ් හකීම් කියන්නේ එවැනි පුද්ගලයෝ මාත් එක්ක  ඕන තරම් කතා කරනවා කියලයි. අපි අහන්නේ සහරාන්ගේ මල්ලිට  රෝහල් ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා උදව් කිරීමට තරම් හකීම් ඇමැතිවරයාට ඒ අයත් එක්ක පැවැති  සම්බන්ධය කුමක්ද කියලයි.”

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම් නාදුරන බවට කි ප්‍රකාශයේ උණුසුම් යන්නටත් මත්තෙන් ඔහුගේ සොහොයුරු වන මොහොමඩ් රිල්වාන් හෂීම් රෝහල්ගතව සිටියදී බැලීමට ගිය ජායාරූපයක් සමාජගත වීමත් සමඟ රවුෆ් හකීම් අන්තවාදී ත්‍රස්තවාදීන් සමඟ පැවැත්වූ සම්බන්දතා එකින් එක හෙළිදරව් වෙමින් පවතී. 

රිල්වාන් හෂීම් පාස්කු ප්‍රහාරය දින කිහිපයකට පසු සයින්දමරුදු ප්‍රදේශයේදී හමුදාවට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර හමුවේ ජිවිතක්ෂයට පත් විය.

ඔහුගේ මරණයෙන් ටික වෙලාවකට පසු දෙසොයුරන් සිටින ජායාරූපයක් IS හිතවාදී අමාක් පුවත් වෙබ් අඩවිය පළ කර තිබිණි. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කථානායකවරයා විසින් පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් 08 දෙනාගෙන් කෙනෙකු ලෙසද රවුෆ් හකීම් මහතා කටයුතු කරන ලදී.

සහරාන් හෂීම් සමඟ රවුෆ් හකීම් මහතා සාකච්ජා කරන වීඩියෝ පටයක් මිට පෙර සමාජගත වූ අතර තමන් එවැනි පුද්ගලයෙකු නොදන්නා බව රවුෆ් හකීම් මහතා ඊට පිළිතුරු ලෙස සටහන් කරන ලදී.

2015 දී හිස්බුල්ලා මහතාගෙන් තම පාක්ෂිකයින්ට සිදු වූ හිරිහැර සෙයා බැලීමට ගිය අවස්ථාවකදී ත්‍රස්තවාදී සහරාන් එම හමුවට පැමිණ ඇති බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

පසුගිය දිනයන්හි මාධ්‍ය මගින් හෙළි කළ වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පත් නාගරික සංවර්ධන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ බව පැවසීය.

නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ වෙනුවෙන් අකුරණ නගරයේ පැවැති  ජන රැළියක් අමතමින් අමාත්‍ය හකීම් මහතා එසේ ප්‍රකාශ කළේය.

ඊයේ දින මාධ්‍ය මගින් ඉදිරිපත් වූ එම වීඩියෝව පිළිබඳව තව දුරටත් අදහස් දැක්වූ හකීම් මහතා ,

"අප්‍රේල් 21 වනදා සිදු වූ සිදු වීමෙන් පසුව මුස්ලිම් ජනතාව විශාල කම්පනයකින් ඉන්නේ.අපේ ප්‍රජාව තුල හැංගී ඉඳගෙන ඒ ම්ලේච්ඡ නින්දිත ක්‍රියාව කරපු ඒ වගේ ත්‍රස්තවාදීන් නැවත වාරයක් හිස එසවීමට ඉඩ නොදීමට අපේ සමාජය අධිෂ්ඨානයෙන්  ඉන්නවා. මම මුස්ලිම් ජනතාව වෙනුවෙන් කියනවා මේ රටේ බුද්ධි අංශය හමුදාව පමණක් නෙවෙයි අපේ මුස්ලිම් ප්‍රජාවම අවදියෙන් සිටිනවා අපි අතරින් නැවත වාරයක් කවුරු හරි  යම් අන්තවාදී අදහසක් තියෙන එකෙක් එහෙම අදහසක් පළ කරන්න ආවනම් ඌව අල්ලලා එක හෙළාම නැත්තකම නැති කරල දාන්න. ඒ ක්‍රියාව අපිම කරනවයි කියන එක  මම ප්‍රකාශ කරනවා.ඊයේ විද්‍යුත් මාධ්‍යයෙන් සමහර අය  දැකින්න  ඇති ඔන්න 2015 ගත්ත වීඩියෝ පටයක් කියලා   අර සහරාන් මම යන තැනට  ඌත් ඇවිල්ල රිංගන එක දැකලා ඔන්න මාත් සහරාන් එක්ක  ඇසුරු කළයි කියලා කතාවක්  කියන්න  හදනවා. මම ඉතාම පැහැදිලිවම කියන්න ඕන මේකේ වට පිටාව.කාත්තාන්කුඩි ප්‍රදේශයේ දේශපානයේ යෙදෙන මේ රටේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂයක් හැටියට  අපි අෂ්රෆ් ඇමතිතුමාගේ කාලයේ ඉඳලා  නැගෙනහිර පළාතේ දැවැත්න පක්ෂයක් හැටියට ගිය මහ මැතිවරණයේදී අපට ආසනයක් ලබා ගන්න පුළුවන් වුණා. එක්සත් ජාතික පක්ෂයටත් ආසනයක් ලැබුණා දෙමළ සන්ධානයට ආසන තුනක් ලැබුණා."

"මඩකලපුව දිස්ත්‍රික්කයට ආසන පහයි.එයට පෙර තිබුණු ජනාධිපති මැතිවරණයේදී  රාජපක්ෂ මැතිතුමාට සහාට දුන්නා හිස්බුල්ලා මැතිතුමා.  ජනාධිපති මැතිවරණය පැරදුනහම පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමා පැරදුනා.පැරදිලා පස්ස දොරින් ගිහිල්ලා  අපේ වර්තමාන ජනාධිපති තුමාගේ කකුල් දෙක ළඟ වැටී ආයාචනා කරලා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා ගත්තා . ජාතික ලැයිස්තුවෙන් ආසනය ගත්ත එකාට  පුදුම උජාරුවක් ඇවිල්ලා  මිනිහා අපේ පාක්ෂිකයින්ගේ ගෙවල්වලටත් කඩවලටත් ගිනි තියන්න  පටන් ගත්තා . අඩන්තේට්ටම් කරන්න පටන් ගත්තා. ඉන් පස්සේ මට යන්න සිද්ධ වුණා කාත්තාන්කුඩියට අපේ ආධාරකරුවන්ගේ තත්වය බලල අස්වැසිල්ලක් ලබා දෙන්න .ඒ අස්සේ මේ සහරානුත් රිංගගෙන. ඒකට මම මොනව කරන්නද?  දේශපාලන නායකයෙක් ඒ වගේ ප්‍රශ්නයකට තැනකට ගියමහ  කවුරු එනවද  මොනව කරනවද කියල අපි දන්නවාය අපි දන්නවාද ඌ ත්‍රස්තවාදියෙන් වෙයි කියලා"යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මරාගෙන මැරුණු බෝම්බකරු මොහොමඩ් සහරාන් යන පුද්ගලයා සමඟ පුහුණුව ලැබූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට ප්‍රදේශයේ දී පුහුණුව ලබා තිබුණූ මොහොමඩ් ජෙම්සිට් නැමති කාන්තන්කුඩිවල පදිංචි පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබා ගෙන විමර්ශන සිදු කරයි.

ඔහුගේ දුරකථන අංකයට අදාළව සිදු කරන ලද දුරකථන අංක විශ්ලේෂණයකින් අනතුරුව මෙම ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ තවත් සැකකරුවෙක් ඊයේ(03) රාත්‍රීයේ බේරුවල, අඹේපිටිය ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරු වයස අවුරුදු 20 ක් වු මෙහොමඩ් වසීම් හෙවත් අබුමස්ඌඩ් නැමති අයෙක් බවත් මොහු බුටාව පාර, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය පවසයි.

මොහු ද හම්බන්තොට දී පුහුණුවීමකට සම්බන්ධ වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා බව කියන මොහොමඩ්  සහරාන් නැමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 4ක් වන දියණිය සීයාට හා ආච්චිට භාරදීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (02) නියම කළේය.

මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ඇති සහරාන් නැමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 4ක් වන දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහතදී අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව  සහරාන්ගේ බිරිඳගේ දෙමාපියන්ගේ භාරයට දරුවන් පත්කළ අධිකරණය අධිකරණයේ අවසරයකින් තොරව දරුවාගේ භාරකාරත්වය වෙනත් පාර්ශ්වයකට පැවැරිමට නොහැකි බවද නියම කළේය.

 

රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුනු තොරතුරැ මත ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කල ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ  සාමාජිකයින් දෙදෙනෙකු අම්පාර පොලිසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දෙදෙනා නුවරඑලිය  සහ හම්බන්තොට කදවුරැවල පුහුණු වි තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිළධාරින් විසින් තහවුරු කරගෙන තිබේ.

මුහම්මදු රයිසුද්දීන් අබ්දුර් රහාමාන් එක් සැකකරුවෙන් වන අතර ඔහු වත්තේගෙදර පොල්ගොල්ල පදිංචිකරැවෙකි. මෙම පුද්ගලයා සහරාන් විසින් පැවැත්වු නුවරඑලිය කදවුරට සහභාගි වි ඇති අතර පුහුණුවෙන් පසුව අබු අනස් යන අනුවර්ථ නාමය දි ඇත.

අනෙක් සැකකරැවන්නේ සෙයිනුල් ආබ්දීන් හප්සල් යන පුද්ගලයෙකි  ඔහු කෝන්දෙණිය ගොඩ මාවනැල්ල පදිංචිකරුවෙකි. සහරාන් විසින් පැවැත්වු හම්බන්තොට දකවුරට සහාභාගි වි ඇති අතර පුහුණුවෙන් පසුව අබු රාවා නැමැති අනුවර්ථ නාමය දි තිබේ .අම්පාර රාජ්‍ය බුද්ධි සේවයේ නිළධාරින්ගේ තොරතුරැ අනුව මේ වෙනවිට 17 දෙනෙකු අම්පාර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ගයාන්ග මාරපන මහතාගේ උපදෙස් පරිදි අම්පාර දිස්ත්‍රික් අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සතිස් කුමාර , උ.පො.ප. උප ශාන්ත,පොකො.2424 ජයම්පති,පො.කො.70341 සෙනෙවිරත්න
මහතා ඇතුලු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(අම්පාර වසන්ත චන්ද්‍රපාල)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වූ කාසීම් සහ්රාන් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි පුහුණු හා දේශන සඳහා සම්බන්ධ වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කාසීම් සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා වන අවුරුදු 28ක් වයසැති මොහොම්මදු අබ්දුල් කාදර් අසීම් යන අයයි. එසේම මෙම සැකකරුගේ මවගේ සහෝදරිය විවාහ වී සිටින්නේ නවුෆර් මවුලවි සමග බවත් පොලීිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුපොතදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සහරාන් වගේ තවත් ත්‍රස්තවාදියෙක් බිහි වී ඇති බව නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

"සහරාන් වගේ තවත් ත්‍රස්තවාදීන් මේ වෙනකොට ලංකාවේ බිහි වෙලා ඉන්නවා. මේ රිෂාම් මහරුෆ් කියන පුද්ගලයා සූදානම් වෙලා තියෙනවා ප්‍රහාරයක් දියත් කරන්න. තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. ඒකෙ කියනවා ඔහු පහර දෙන්න සූදානම් වෙන විදිය. අපි කියනවා ආරක්ෂක අංශ වලට වහාම මොහුව අත්අඩංගුවට ගන්න, මොහු ඉන්න තැන දන්නේ නැත්තම් කියන්න අපි පෙන්වන්නම් තැන. ජනාධිපතිතුමනි තවත් ජීවිත සංඛ්‍යාව නැති වෙන්න තියෙන අවස්ථාවක් විය හැකියි. ඒක නිසා වහාම මේ තව්හිද් ජමාත් සංවිධානය තහනම් කරන්න. මේ අබ්දුල් රාසික් කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න."

Page 1 of 4