June 02, 2020

කොරෝනා වසංගය ගෝලීය වසංගතයක් ලෙස පැතිරී යද්දී ලංකාවටද එය දැඩි බලපෑම් එල්ල කරමින් පැතිරී ගියේය. මේ හේතුවෙන් රජය කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගත් අතර රටපුරා ඇඳිරි නීතිය පැනවීමටද ක්‍රියා කළේය. විශේෂයෙන් ජනතාව ඇතැම් අවස්ථාවන්හි ක්‍රියා කළේ මෙම වෛරසයේ භයානකකම ගැන තුට්ටුවකට මායිම් නොකරමිනි. එනිසා රජයට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය. මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දීමට තිබුණද කොරෝනා වසංගත උණුසුම හේතුවෙන් ඡන්ද උණුසුම යටපත්වී ගියේය. විපක්ෂය දිගින් දිගටම යෝජනා කළේ කොරෝනා වසංගතය අස්සේ රටේ පවතින අර්බුදකාරී තත්වය මත මැතිවරණය කල් දැමිය යුතු බවයි.

නමුත් ආණ්ඩුවේ ප්‍රතිචාරය කෙසේ වෙතත් නාමයෝජනා බාර දීම අවසන් වීමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊට නිසි තීන්දුවක් දීමට කටයුතු කළේය. ඒ අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ මහ මැතිවරණය කල්දැමීමට සිදුවන බව ප්‍රසිද්ධියට පත් කරමිනි. ඒ අනුව මහ මැතිවරණය අප්‍රේල් 25 දින නොපැවැත්වෙන අතර ඊට දින 14කට පසු කොරෝනා තත්ත්වය පාලනව වන ආකාරය අනුව මැතිවරණය පැවැත්වෙන දිනය දැනුම්දෙන බව මහින්ද දේශප්‍රිය මහතා පැවසී ය. පසුගිය බ්‍රහස්පතින්දා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු එහිදී ප්‍රකාශ කළේ, මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනා ම එක්ව එම තීරණයට එළඹි බවය. "නව කොරෝනාවෛරසයේ බලපෑමක් 100%ක් ශ්‍රී ලංකාවට නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ ද" කලින් සැලසුම් කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව ඔහු පැවසීය. ''COVID-19 වෛරස් තත්ත්වය නිසා අපේ මැතිවරණ කැලැන්ඩරයේ පහුගිය දින 5ක්, 6ක් අඩාළ වුණා. දැනට කියන්න තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කිසි ම විදියකට අප්‍රේල් 25 නොපැවෙත්වෙන බවයි." මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. "කල් දමන ලද පාර්ලිමේන්තු මැතිවරණය යළි පවත්වන දිනය මැයි මාසය තුළ ද, ජූනි මාසය තුළ ද ඉන් ඔබ්බට ද යන්න තීරණය කරන්නේ අප විසින් නොව COVID-19 වෛරසය පාලනයට කාර්ය සාධන බලකායේ ඇති හැකියාව මත" යැයි ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

මාර්තු 20 සිට 27 දක්වා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළේය. එහෙත්, පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සඳහා සිකුරාදාත් සෙනසුරාදා දිනයේත් කාර්යාලයට පැමිණීමට මැතිවරණ රාජකාරී කටයුතුවලට අදාළ කාර්ය මණ්ඩලයට සිදුව තිබේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා ලැබුණු සංඛ්‍යාව හා ප්‍රතික්ෂේප වූ සංඛ්‍යාව මේ මොහොතේ සඳහන් කළ නොහැකි වුව ද සැලකිය යුතු සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය. ''ඇතැම් දිස්ත්‍රික්කවල නාම යෝජනා පනහ පැනල. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ රුපියල් 2000 ඇප මුදල දීලා මන්ත්‍රී වෙන්න පුළුවන් කියලා. කවුරුත් දන්නේ නෑ 5%ක් ගන්න ඕනා කියලා. කොළඹ, ගම්පහ වගේ 5%න් එන්න පුළුවන්. සමහර දිස්ත්‍රික්ක තියෙනවා මන්ත්‍රී ධූර 4යි. ඒ වගේ කුඩා දිස්ත්‍රික්ක වල 13%ක්වත් ගන්න ඕනා,'' යනුවෙන් මහින්ද දේශප්‍රිය සදහන් කළේ මෙය ඇප මුදල් වැඩි නොකිරීමේ විපාකයක් බවය.

සමගි ජන බලවේගයට එජාපයෙන් ප්‍රශ්නයක්

ජනතාවට දේශපාලන උණුසුම නොතිබුණ ද නාම යෝජනා බාර දීමට තිබූ බැවින් එක්සත් ජාතික පක්ෂයට ද ඉකුත් සතිය කාර්ය බහුල විය. නායකයාද සිරිකොතෙහි රැදී සිටිමින් නාම යෝජනා කටයුතුවල නිරත වූවේ ඉකුත් බ්‍රහස්පතින්දා නාම යෝජනා බාර දෙන අවසන් දිනය වූ නිසාවෙනි.

වෙනදා මෙන් මන්ත්‍රීවරුන් රැසක් ද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සිටි අතර කාර්යබහුල තත්ත්වය හමුවේ වුවද ඔවුන් හා සුහද පිළිසදරේ යෙදීමට නායක රනිල් වික්‍රමසිංහ අමතක නොකළේය.

"කොරෝනා වසංගතය නිසා ඡන්දය කල් දාන්න කියා කව්රුත් කියනවා. නමුත් ආණ්ඩුව එය ගණන් ගන්නේ නැහැ. සර්ව පාක්ෂික සමුළුව කැදවන්න කියලා හැමෝම ඉල්ලුවා. අගමැති කියන්නේ නාමයෝජනා දුන්නට පසු හමුවෙමු කියලායි. මේකට විසදුමක් නැතිද?" නවීන් දිසානායක විමසා සිටියේ නායකයාගෙනි.

"ආණ්ඩුව මුල ඉදළම මේ ප්‍රශ්නය හරියට තේරුම් ගත්තේ නැහැ. ඡන්දය කියන්නේ ජනතාව සමග කරන කටයුත්තක්. එංගලන්තයේ නම් ඡන්ද රැස්වීමකට එන්නේ 50 ක් විතර ගානකුයි. අපේ එහෙම නෙවෙයි අපේ රැස්වීමකට දාහක් විතර එනවා. ඒක නිසයි, අපි කිව්වේ ඡන්දය කල් දාලා පාර්ලිමේන්තුව රැස් කරලා අවශ්‍ය මුදල් වෙන් කරගෙන මුළින් ව්‍යසනය අවසන් කරලා ඉමු කියලා. නමුත් ආණ්ඩුවට ඔනෑ ඉක්මණින් ඡන්දය තියන්න." නායකයා පැහැදිලි කළේය.

"ඡන්දය දාන්න පෝලීමේ ඉන්න ඕනේ. එකම පැන්සලෙන් කතිරය ගහන්නේ. ගණන් කරන තැන නිලධාරිනුත් මෙතනදි අර්බුදයට යනවා. හොදම විසදුම ඡන්දය කල් දමා සර්ව පාක්ෂික සමුළුවෙන් ගැටළුවට විසදුම් සෙවීමයි" නායකයා තවත් විස්තර එක් කළේය.

"ජනාධිපතිගේ ජාතිය ඇමතිමේ කතාව නිසා මිනිස්සු තවත් අසරණ වුනා. මීට වඩා දෙයක් කියයි කියා මිනිස්සු හිතුවා." චම්පිකා ප්‍රේමදාස කීවේය.

"ඔව් ඇත්තටම එතනදි ජනතාවට විශ්වාසය තහවුරු වන යමක් කියැවුනේ නැහැ. සියලු දෙනා එකට එක්වී වසංගතය පරදවමු කියන දේ මෙතනදි එළියට ආවේ නැහැ. ඉස්සරහට සිංහල අවුරුදු එනවා. පාස්කු, රාමසාන් කාල එනවා. ඒ කියන්නේ ජනතාව පාරට එන අවස්ථාවයි. මේ ගැනත් යම් වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ." නායකයාගේ කතාව සැවොම අනුමත කළහ.

"සර් රෝයල් - තෝමියන් බිග් මැච් එක බලන්න ගියාලු නේද? එතනත් ආසාදිතයෙකු ඉදලා තිබෙනවා. ඒක නවත්වන්න කියපු එක ඇහුවේ නෑ කියලාද කියන්නේ.

" ඔව් මට එතනදි ශිරන්ති රාජපක්ෂවත් හමුවුනා. මම වැඩිවේලාවක් හිටියේ නැහැ. කොහොමවුනත් අපිත් කිව්වේ මැච් එක නවත්වන්න තිබුණා කියන කාරණයයි." නායකයා කීවේය.

"ජනාධිපතිතුමාත් ආනන්ද - නාලන්ද බිග් මැච් බලනවා අප දැක්කා. එතන වරෙන්තුකාරයෙකුත් හිටියා නේද? කොහොම වුනත් මෙහෙම නම් ඡන්දය කරන්න බැහැ." කේ.කේ පියදාස මැසිවිල්ලි ඉදිරිපත් කළේය.

"ඔව් ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ බෙදීම උපයෝගි කරගෙන තුනෙන් දෙක ගන්නයි. සෞඛ්‍ය ඇමති පවිත්‍රාත් ඒක කියා තිබුණා. අප්‍රේල් 25 වැනි දායින් පස්සට යන්න යන්න ආණ්ඩුවට අවාසියි. ඒකයි මේ ඡන්දය කල් දාන්නේ නැත්තේ." වජිර අබේවර්ධන පැහැදිළි කළේය.

"නාම යෝජනා බාර ගත්තාට පසු මැතිවරණ කොමසාරිස්ට මැතිවරණය කල් දාන්න බලය ලැබෙනවා. ඔහු ඒ අනුව කටයුතු කරයි කියා අප හිතනවා." නායකයා සදහන් කළේය.

"මැතිවරණ කොමිසම ඡන්දය කල් දැම්මොත් මුදල් හොයා ගන්නේ කොහොමද?" චම්පිකා ප්‍රේමදාස විමසා සිටියේය.

"මුදල් ගන්න නම් පාර්ලිමේන්තුව කැදවන්න ඕනෑ. මෙහෙම මුදල් ගන්න එක නීත්‍යානුකූල නෑ. පාර්ලිමේන්තුව කැදවීම තමයි, හොදම විසදුම. නමුත් ආණ්ඩුව එය කරන්නේ නැහැ. කැබිනට් එක තියාගෙන දුවන්න බලන්නේ." නායකයා පැහැදිළි කළේය.

"සමගි ජන බලවේගය ගැන ප්‍රශ්නයක් තිබෙනවා කියලා ඒ පක්ෂයේ කලින් හිටපු කෙනෙක් මැතිවරණ කොමිසමට පැමිණිලි කරලා තිබෙන බව ආරංචියි." වජිර අබේවර්ධන කීවේය.

"ඔව්! එහි ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මේක සන්ධානයට හදපු ව්‍යවස්ථාවක් නොවෙයි. අනෙක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකකමින් හිටපු විපක්ෂනායකතුමා අයින් වෙලාත් නෑ. පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් පක්ෂයක කෙනෙක්ට ඒ පක්ෂයෙන් ඉල්ලන්න බෑ. මෙයාලා මැතිවරණ කොමිසමට ඔවුන්ගේ අලුත් ව්‍යවස්ථාව දී තිබෙන්නේ මැතිවරණ කොමසාරිස් දීපු දිනයටත් පසුව දිනයකයි. මේ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා." පක්ෂ නීති නිලධාරියෙකු පෙන්වා දුන්නේය.

"මේ කට්ටියට කරන්න තිබුණේ කාගෙත් යෝජනාව වෙච්ච කරුණාසේන කොඩිතුවක්කු ලේකම් කරලා ඡන්දයට යන්නයි. එහෙම නම් බය වෙන්න දෙයක් දෙපැත්තටම ඇතිවෙන්නේ නැහැනේ." නවින් දිසානායක පෙන්වා දුන්නේය.

"ආණ්ඩුවට මැතිවරණය කල් දාන්නවත් පාර්ලිමේන්තුව කැදවන්නවත් වුවමනාවක් නැහැ. සර් දැන් අපේ මැතිවරණ මෙහෙයුම් වැඩපිළිවෙල මොකක්ද?" කේ.කේ පියදාස මන්ත්‍රීවරයා විමසා සිටියේය.

"අර්ජුන රණතුංග, නවීන් දිසානායක, දයා ගමගේ, රවි කරුණානායක, රුවන් විජයවර්ධන වගේ අලුත් මුහුණු ටිකක් මෙවර මැතිවරණය මෙහෙයවනවා. ඩි.එස් සේනානායක මැතිදුන් හදපු පක්ෂය අලුත් පරපුරක අලුත් ගමන මේ මැතිවරණයත් සමගම ඇති වෙනවා. නයකයා සදහන් කළේය.

"ඔව් දැන් මංගල, රන්ජන්, ඉරාන්, රිෂාඩ්, හකිම්, මනෝ වගේ අය නැහැනේ? මම නම් හිතන්නේ නායකතුමා කිව්වා වගේ මහාමාන්‍ය ඩි.එස් සේනානායක මැතිදුන්ගේ සියලු ජාතීන්ට සෙවන වූ එක්සත් ජාතික පක්ෂය දැන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඉතින් පක්ෂය ලෙස අපට දැන් බෞද්ධයන්ට වගේම අන්‍ය ජාතීන්ටත් හොදින් ආමන්ත්‍රණය කරන්න පුළුවනි. අපට දිගින් දිගටම අහිමි වූ සිංහල බෞද්ධ ජන පදනම ගොඩ නගන්න හොදම අවස්ථාව මේකයි. එදා බෙදිලා තිබුණේ දේශපාලන දර්ශනයන් අනුවයි. නමුත් මෑත කාලයේදි බෙදුනේ ජාතිය හා ආගම අනුවයි. ජාතිය හා ආගම අනුව බෙදුණු පක්ෂ එක්සත් ජාතික පක්ෂය හා ගොනුවූ නිසා ඩි.එස් සේනානායක මැතිදුන් හැදු සිංහල බෞද්ධ පදනම එක්සත් ජාතික පක්ෂයට නැති වුනා. දැන් අපට නැවත අවස්ථාවක් ලැබිලා තියෙනවා සිංහල බෞද්ධ ඡන්ද පදනම පක්ෂයට දිනා ගන්න." වජිර අබේවර්ධන දීර්ඝ විස්තරයක් කළේය.

තිස්සට ජාතික ලැයිස්තුව දෙන්න කිරිඇල්ල කියයි

මේ අතර සමගි ජනබලවේගයේ නාම යෝජනා අත්සන් තැබීමේ කටයුතු වෙනුවෙන් අපේක්ෂකයෝ බොහොමයක් පිටකෝට්ටේ පිහිටි විපක්ෂ නායක සජිත්ගේ කාර්යාලයට පැමිණ සිටියෝය. එහිදි මහ නුවර අපේක්ෂක ලැයිස්තු සකස් කිරිම පිළිබද කතාබහක් ඇතිවිය. එහිදි කළුතර හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මහතා ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ගැටළුව පිළිබදව විමසා සිටියේය.

සිංහල තුනක් හා මුස්ලිම් දෙකක් දිනුවොත් අපෙක්ෂක ලැයිස්තුවේ අනෙක් දස දෙනාටම එක ධූරයකට තරග කරන්න සිදුවීම සම්බන්ධයෙන් වන ගැටළුව පිළිබදව ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේය.  පසුව කිරිඇල්ල හා විතාන ගොස් හොදම විසදුම තිස්ස අත්තනායකට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් දීම බවට කිරිඇල්ල කළ යෝජනාව සජිත් පිළිගැනීමත් සමග ප්‍රශ්නය අවසන් විය. 

බැසිල්ගේ සාකච්ඡාවෙන් දයාසිරි - දුමින්ද නාමයෝජනා අත්සන් නොකර පිටව යයි

පසුගිය සදුදා නෙළුම් මාවත කාර්යාලයට යමින් සිටි ඇමති ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණි. එහා කෙළවරේ සිටියේ අගමැති මහින්දය. "ප්‍රසන්න කොහෙද ඉන්නේ...." මහින්ද ඇසුවේය. "සර් මම නෙළුම් මාවතට යන ගමන්...." ප්‍රසන්න උත්තර දුන්නේය.

"මම මේ කථා කළෙත් ඒකට තමයි. ගම්පහ විතරක් නෙමෙයි අනිත් ඒවත් පොඩ්ඩක් බලන්න..." මහින්ද ප්‍රසන්නට කීවේය. "හරි සර්... මම ඒ ගැන බලන්නම්. බැසිල් සර්රුත් මට කථා කළා..." ප්‍රසන්න කීවේය.

ඒ අනුව පහුගිය සදුදා සිට ප්‍රසන්න පැය 24 ම ගත කළේ නෙළුම් මාවතේය. ප්‍රසන්නගේ සහායට ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු බොහෝ දෙනෙක්ද  නෙළුම් මාවතේ කාර්යාලයේ සිටියහ. රට තුළ පැතිර යමින් තිබු කොරෝනා වසංගතය හේතුවෙන් මේ සියලු දෙනා වැඩ කළේ මාස්ක් පැළදගෙනය.

නෙළුම් මාවතේ පහළ කාර්යාලයක පක්ෂ ලේකම් සාගර කාරියවසම් නීතීඥවරු කීප දෙනෙකු සමග නාම යෝජනා පත්‍ර සැකසීමේ නිරතව සිටි අතර බැසිල් නෙළුම් මාවතේ උඩු මහළේ සිය කාමරයේ රැදී සිටිමින් විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් නාම යෝජනා ලබා දීමේ දී මතුවන ගැටළු නිරාකරණය කළේය. ප්‍රසන්නට සිදුවුයේ මේ කාර්යාල දෙකටම නිතර යන්නටය. බැසිල් සමග විටෙක විවිධ දිස්ත්‍රික්ක වල නාම යෝජනා ගැටළු විසදීමට එක් වූ ප්‍රසන්න ඉන් අනතුරුව පහළ සාගර කාරියවසම් සමග නාම යෝජනා සැකසීමේ කටයුතු වලට ද දායක වෙමින් සිටියේය.

ශ්‍රී ලනිපයේ සභාපති හිටපු ජනපති මෛත්‍රී නාමයෝජනා අත්සන් කර තිබුණ ද අනෙකුත් දිස්ත්‍රික්ක වල නාම යෝජනා අත්සන් තැබීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළු මතු ව තිබුණි. මේ නිසා ශ්‍රී ලනිපය වෙනම යාමේ සුදානමක් පිළිබද කථාබහක් ආවේ ඔය අතරය. අනුරාධපුරය, කුරුණෑගල දිස්ත්‍රික්ක වල නාම යෝජනා පිළිබද ගැටළු මතු ව තිබුණි. එම දිස්ත්‍රික්කවලට ශ්‍රිලනිපය ඉල්ලු අපේක්ෂක සංඛ්‍යාව ලබා ගැනීම සදහා දයාසිරි හා දුමින්ද වෙනම සටනක් ආරම්භ කර තිබුණි. මේ අතර අපේක්ෂත්වය නොලැබුණු ජීවන් ඇතුළු පිරිසක් වෙන ම ඉල්ලීමේ සුදානමක් තිබුණි.

මේ අතර පහුගිය අගහරුවාදා  දයාසිරි, දුමින්ද හා වීරකුමාර දිසානායක නෙළුම් මාවත කාර්යාලයට ආවේ නාමයෝජනා අත්සන් කීරිමටය. නව යෝජනා අත්සන් කීරිමට සාගරගේ කාර්යාලයට ගිය දයාසිරි ඇතුළු පිරිස නාම යෝජනා අත්සන් කීරීම පසෙක තබා සාගර කාරියවසම්ට දොස් කියන්නට පටන් ගත්හ.

"මේක මහා පුදුම වැඩක්නේ. මොකද මේ අපේ එකගතාවය කඩන්නේ. අර ප්‍රසන්න තැන් තැන්වල අපිව විවේචනය කර කර යනවා. මිනිහගේ කට වහන්න කෙනෙක් නැද්ද? ප්‍රසන්න හිතගෙන ඉන්නේ එයා කවුරු කියලද? මේවා නවත්තන්න වෙයි. නැත්තම් අපි බලා ගන්නම්. " දුමින්ද මහ හඩින් කීවේය.

සාගර කොතරම් කරුණු කියුවත් එය දුමින්දලා එය පිළිගන්නේම නැත. මේ නිසා සාගරගේ කාර්යාලයේ පිටත සිටි අයට එය දැනුණේ මහා ඝෝෂාවක් ලෙසය.

මේ අතර ඉහළ මාලයේ සිට බැසිල්ට ද මේ සද්දය ඇහුණි. " ප්‍රසන්න අර මොකද්ද පහළ සද්දෙ කියලා බලන්න...." බැසිල් කීවේ ළග සිටි ප්‍රසන්නටය. ඒ අනුව ප්‍රසන්න සාගරගේ කාමරයට ආවේ දුමින්දලා බැණ වදින්නේ තමන්ට බව නොදැනය. එකවරම කාමරයට පැමිණි ප්‍රසන්න දුටු දුමින්දලා ද තුෂ්ණිම්භුත විය.

"මොකෝ ඇමතිතුමාලා මේ සද්දේ? කියමින් දුමින්දලා අසළින් වාඩි වු ප්‍රසන්න " මොකද අත්සන් කරන්නේ නැද්ද?" යැයි ඇහුවේය. දුමින්ද , දයාසිරි මුහුණට මුහුණ බලාගත්ත මිස කිසිවක් කීවේ නැත.

"අත්සන් කරන්න. අත්සන් කරන්න. මේක ජාතික කර්තව්‍යයක්නේ. ප්‍රශ්නයක් තියනවනම් අන්න බැසිල් ඇමතිතුමා ඉන්නවා. එන්න යමු ගිහින් කථා කරමු." ප්‍රසන්න කිවේය.

දුමින්දලාට වෙනත් විකල්පයක් තිබුණේ නැත. ඔවුන් පුටුවෙන් නැගිට්ටේය. "යමු. යමු " ප්‍රසන්න ඉස්සර විය. දයාසිරි හා දුමින්ද බැසිල් සමග සාකච්ඡා කළේ තනිවමය. ප්‍රසන්න එතැනට ගියේ නැත. බැසිල් සමග සාකච්ඡාවෙන් පසු දුමින්දලා පිටව ගියේ නාමයෝජනා අත්සන් නොකරය.

අගහරුවාදා සවස වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාම යෝජනා ගැටළුව විසදාගැනීමට බැසිල්ට හැකි විය. ඒ එස්එම්, ෂෙහාන් සහ බැසිල් අතර පැවති සාකච්ඡාවකින් පසුවය. ඒ සාකච්ඡාවේ සිටි ප්‍රසන්න සිය හිතවතෙකු මගින් වීරකුමාරට පණිවිඩයක් දි පසුදින නාමයෝජනා අත්සන් කරන්නට එන්නයැ‘යි දැනුම් දුන්නේය. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාමයෝජනා ගැන ගැටළුවක් පැන නැගී තිබුණි. දයාසිරිලා කුරුණෑගලට ඉල්ලා තිබු  අපේක්ෂක සංඛ්‍යාව ලබා දීමට නම් පොහොට්ටුවෙන් කෙනෙකු ඉවත් විය යුතු විය. මෙය අගමැති මහින්දට දැනගන්නට ලැබුණි.

"මම ජාතික ලැයිස්තුවෙන් එන්නම්. ඔන්න ඕක දීලා දාන්න." මහින්ද බැසිල්ට කියා තිබුණි. මේ ආරංචිය ප්‍රසන්නට දැනගන්නට ලැබුණි. ඔහු වහා අගමැති මහින්ද ඇමතුවේය.

"සර්... ඒ වැඩේ නම් කරන්න එපා. සර් මේ පාර ඡන්දය ඉල්ලලයි අගමැති වෙන්න ඕන. මිනිස්සු බලාගෙන ඉන්නේ සර්ට ඡන්දය දෙන්න. කුරුණෑගලින් ඉඩ නැත්නම් ගම්පහට එන්න. මම අයින් වෙලා සර්ට ඒ අවස්ථාව දෙන්නම්." ප්‍රසන්න කීවේය.

"නෑ. නෑ. එහෙම ඕන නෑ. ගම්පහ මිනිස්සු බලාගෙන ඉන්නේ ඔයාව පාර්ලිමේන්තු යවන්න. " මහින්ද කීවේය.

ප්‍රසන්න බදාදා ගම්පහ නාමයෝජනා භාරදීමට සියල්ල සුදානම් කර තිබුණ ද ඔහු වහා ම එය අවලංගු කළේය. ඒ ගම්පහ ඇපයට තබමින් අනෙකුත් දිස්ත්‍රික්ක වල ශ්‍රිලනිපයේ ගැටළු විසදීමට බැසිල් සමග ප්‍රසන්න එළඹි එකගතාවය නිසාය. කෙසේ වෙතත් බදාදා මධ්‍යම රාත්‍රිය වන විට නාම යෝජනා සියල්ල අවසන් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකි විය.

මුලින් විරෝධය පළ කල ද දයාසිරිලා බදාදා උදෑසන නෙළුම් මාවතට පැමිණ නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබුහ.

බදාදා මධ්‍යම රාත්‍රියේ ප්‍රසන්න උඩුගම්පළ සිය නිවසට ආවේ පසුදින නාමයෝජනා පත්‍ර භාරදීමට  යාම සදහාය. නාම යෝජනා පත්‍රය කොපමණ පරික්ෂා කළත් ඔහුගේ හිතට එය මදි විය. නැවතත් සිය හිතවත් නීතිඥ මහත්වරු කීප දෙනෙක් සමග නාම යෝජනා පත්‍රය පරීක්ෂා කළ ප්‍රසන්න නින්දට ගියේ සුළු දෝෂයක් හෝ නොමැති බව තහවුරු කරගැනීමෙන් පසුවය.

පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රසන්න ගම්පහ නාමයෝජනා භාරදීමට ගියේ නිමල් ලාන්සා ඇතුළු පිරිස සමගය. නීතිඥ සරණ, සරල සොහොයුරෝ ද ඒ සමග වූහ. එක්සත් ජාතික පක්ෂය වෙනමත් සජිත්ගේ ජාතික සමගි බලවේගය වෙනමත් ගම්පහට නාමයෝජනා භාරදුන්හ. ජාතික සමගි බලවේගයේ විජිත් විජිතමුණි සොයිසා දුටු ලාන්සා දැන් මොකද එකතු වෙන්නේ නැද්දයි ඇසුවේය. අපෝ කලබල වෙන්නෙපා. අපේ ආරෝව දියේ ඇන්ද ඉරක් වගෙයි. අපි කට්ටියම වෙලාවට එකතු වෙනවා. විජිතමුණි කීවේය. ඔය කිවුවට දෙගොල්ලෝ මුණට මුණවත් බලන්නේ නෑනේ. ප්‍රසන්න කියන විට විජිතමුණි හෙමිහිට එතනින් ලිස්සා ගියේය.

 

 ප්‍රභාත් මාතරගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ එහි ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් පිළිවෙලින් කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක සඳහා පොහොට්ටුවේ නාමයෝජනා පත්‍රිකා වලට පත්‍රිකාවට අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණු එම දිස්ත්‍රික්ක දෙකෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණු අපේක්ෂකත්වය ප්‍රමාණය පිළිබඳව ඇතිවූ පිළිබඳව ඇති වූ ගැටලුව මත ඔවුන් මෙතෙක් නාමයෝජනා පත්‍රිකාවට අත්සන් කර නොතිබිණි.

කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම තවත් එක් අපේක්ෂකත්වය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සංවිධානය එකඟ වීමත් සමග ඔවුන් දෙපළ මෙම තීන්දුවට එළඹ තිබේ.

බහුතර ඡන්දදායකයන්ගේ කැමැත්තෙන් ජනාධිපතිවරයා ලෙස පත් වුවද ගෝඨාභය රාජපක්ෂ මහතාට එකවර තනිව සියල්ල වෙනස් කර නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ යනු මැජික්කාරයෙකු නොවන බවත් දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයාට වැඩ කිරීමට නම් සියලු දෙනාගේ සහාය ලබාදිය යුතු බව දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මිහින්තලය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සෘජු තීරණ ගතහැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගිය යුතු බවත්, ඒ සඳහා ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගත යුතු බවත් ඇමතිවරයා පවසයි.

එපමණක් නොව ඇතැම් නීති-රීති පවා වෙනස් විය යුතු බව පෙන්වා දෙන දුමින්ද දිසානායක මහතා පවසන්නේ ඇතැම් යල්පැන ගිය නීති නිදහසටත් පෙර සම්මත කරගත් ඒවා බවයි. එවැනි යල්පැන ගිය නීති සමග ඉදිරියට යා නොහැකි බවයි ඔහු අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කර දීම සිය යුතුකම හා වගකීම බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැම විටම "අපට පෙර රට" ලෙස සිතා කටයුතු කළ පක්ෂයක් බව ද අමාත්‍යවරයා පවසයි.

රටට යහපතක් සිදු වන්නේ නම් එය සිදු කළේ සිය පක්ෂය බව පවසමින් එහි කිර්තිය තමන්ට ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්සයට සෑම විටම අවශ්‍ය වන්නේ රටට සෙතක් කිරීමට බවත් එම නිසා පසුගිය මැතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා කටයුතු කල බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහි කීර්තිය කුමන පාර්ශවයක් විසින් ලබා ගැනීමට උත්සහ කළද එය සිය පක්ෂයට අදාල නොවන බවද ඒ මහතා සඳහන් කරයි.

එම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කළා සේම ජනාධිපතිවරයා ලෙස රටට සේවය කිරීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් සදා ගැනීමටද සහය විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

දේශපාලනයට නොගැලපෙන පුද්ගල චරිත පාර්ලිමේන්තුවට තොරාපත්කර නොගැනීමට මහජනතාව කටයුතු කළයුතු බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මීට පෙරද අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවට නුසුදුස්සන් පත්ව ආ බවයි. 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවණයේදී සුදුසුකම් ඇති ජනතා නියෝජිතයින් ජනතාය විසින් තොරාපත්කර ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී  වීරකුමාර දිසානායක පවසා සිටියේ තුනෙක් දෙකක් සහිත ආණ්ඩුවක් ඉදිරිප පාර්ලිමේන්තු මැතිවරණයේදී ගොඩනැගිය යුතු බවයි.

මරණාධාර සමිතියකටවත් නොගත යුතු එවුන්ව පාර්ලිමේන්තු එවලා ‍දැන් පේනවානේ එකෙක් යවලා සිද්ධ වෙලා තියෙන දේ යැයි තරුණ කටයුතු රාජ්‍ය  අමාත්‍ය  දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එහිදි  වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“වෙනස්ව හිතන්න, අලුතින් හිතන්න, රාමුවෙන් පිට පැනලා හිතන්න, එහෙම වුණාම අපිට මේ රට වෙනස් කරන්න පුළුවන්. දැන් සමහරුන්ට මේක බෑ කියලා හිතෙන්න පුළුවන්.හැබැයි මම නම් කියන්නේ පුළුවන් කියලා. දැන් මේ රටේ තරුණයෝ නගර වල චිත්‍ර ඇන්දා, තරුණයෝ කල්පනා කළා රට වෙනස් වෙන කොට අපි තරුණයෝ විදිහට ඒ වෙනසේ අපේ කොටස මොකක්ද, අපි මොකක්ද ‍ඒ වෙනසට දෙන දායකත්වය කියලා. ජනාධිපතිතුමා ඒ තරුණයින්ට කිව්වේ නෑ චිත්‍ර අදින්න කියලා. ආණ්ඩුව හෝ දෙමවුපියෝ  කිව්වේ නෑ චිත්‍ර අදින්න කියලා. තරුණයෝ කීප දෙනෙක් කථා බහ කරලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් ශෙයාර් කරලා රට වෙනස් වෙන කොට අපිත් යමක් කරන්න ඕන කියලා. නගරයේ කැත වෙලා තිබුණ තාප්පය, බස් හෝල්ට් එකේ චිත්‍ර අදිමු කියලා තරුණයෝ කථා බහ කළා. ඒක රැල්ලක් වුණා. අල්ලපු ගමේ නගරයේ කථා කරලා ටික දවසකින් රටේම රැල්ලක් වෙලා අහවල් දවසේ අපි අපේ නගරයේ චිත්‍ර අදිමු කියලා හිතන් නැති තරුණයෝ.  අඳුරන්නේ නැති තරුණ තරුණියෝ, හාමුදුරුවරු, වෙනත් ජාතීන් වල කට්ටිය, කොණ්ඩේ කපපු, කොණ්ඩේ වවපු, තට්ටේ ගාපු, කරාඹු දාපු, පච්ච ගහපු තරුණ තරුණියෝ එකතු වුණා ඒ වැඩේට. ඒ තරුණයෝ අපිට පෙන්‍නුවේ වැඩේ හොඳනම්, අරමුණ හොඳ නම් අපි ලෑස්තියි කියලා.

බැරි වෙලා හරි අපි ඔය වැඩේ කළා නම් අපි බලන්නේ, අපිට එන්න කිව්ව එකා මොන පක්ෂයේද කියලා.  ඌ යූ.එන්.පී නම්, ජේ.වී.පී නම්, ශ්‍රී  ලංකානම් , පොහොට්ටුවේ නම් අපි යනවාද? අපි දේශපාලන කෝණයෙන් නේද බලන්නේ.හැබැයි ඒ තරුණයෝ දේශපාලන කෝණයෙන් බැලුවා නම්  අම්මා අප්පා කවුද?  කතිර ගැහුවේ මොකාටද කියලා බැලුවා නම් ලස්සන නිර්මාණ බිහි වෙන්නේ නෑ. අපි දැක්කා නුවර ජාතක කතාවේ  එක කොටසක් හාමුදුරුවෝ කෙනෙක් අඳින කොට අනික් කොටස මුස්ලිම් තරුණියක් අඳිනවා. එතන ජාති භේදයක් තිබුණේ නෑ.  වැඩේ හොඳ නම් අපිට මේ රට වෙනස් කරන්න පුළුවන්. අපි හැම වෙලාවේම ගෝත්‍රිකවාදී වෙන්නේ නැතිව, දේශපාලනයම මුල් කර ගන්නේ නැතිව රට වෙනුවෙන් වැඩක් කරන්න ඕන කියලා අපි තීන්දු කරා නම් මේ රට වෙනස් කරන්න පුළුවන් කියන දේ නේද තරුණයෝ අපිට පෙන්නුවේ.

ඒ වගේම ඉදිරියේදී මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවට නොගැළපෙන එවුන් නම් එවන්න එපා. මරණාධාර සමිතියක සභාපති කෙනෙක් තෝරද්දීත් අපි තෝරන්නේ කොහොමද? ගමට අලුතින් නළුවෙක් පදිංචි වෙන්න ආවොත් නළුවාව සභාපති කරනවාද ?  ගමේ දොස්තර කෙනෙක් ඉන්නවා කියලා දොස්තර සභාපති කරනවාද? ගමේ ඉංජි‍නේරුවෙක් ඉන්නවා  ඒ ඉංජිනේරුවා සභාපති කරනවාද? මරණාධාර සමිතියේ සභාපති කරන්නේ  වැදගත්කමක් තියෙන, නායකත්වය ගන්න පුළුවන්, වාර්තාවක් හදා ගන්න කියවා ගන්න පුළුවන්, හොරෙක් නොවන අපිට විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක්. එහෙම නම් මරණාධාර සමිතියකටවත් නොගත යුතු එවුන්ව පාර්ලිමේන්තු  එවලා හරියනවාද, ‍දැන් පේනවානේ එකෙක් යවලා.ඒ යකා දෙයියනේ කියලා රඟපාගෙන හිටියා නම් තවත් ෆිල්ම් එකක්  දෙකක් හදලා අපිත් ඒවා බලලා හිනාවෙලා ලේ ටිකක් සුද්ද කර ගන්නවා. හැබැයි මේ යකා පාර්ලිමේන්තු ඇවිල්ලා පාර්ලිමේන්තුවත් කෑවා. උසාවියත් කෑවා.  පොලීසියත් කෑවා.  නීතිඥයොත් කෑවා.  නළු නිලියොත් කාලා අවසානයේ රටම කෑවා. මේ වගේ එවුන්ව පාර්ලිමේන්තු ඒව්වොත් ඔබතුමන්ලාම තමයි. මෙහෙ අය නෙමෙයි ගම්පහ අයයි. නොගැළපෙන  එවුන් පාර්ලිමේන්තු එවන්න එපා. දොස්තර ඉන්න ඕන දොස්තර රස්සාව කරන්න. සිංදු කියන එකා ඉන්න ඕන සිංදු කියන්න.  රඟපාන එකා රඟපාන්න ඕන.  මේවා පටලවා ගත්තම තමයි මේ ප්‍රශ්න වෙන්නේ” යැයි පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මින් පෙර බලයේ සිටි ජනාධිපතිවරුන්ට වඩා නිහඬව සහ සක්‍රීයව සිය ධුරයේ කටයුතු ඉටු කරමින් සිටින බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි අමාත්‍යවරයා පැවසුවේ ගොඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් තමන් සතුට වන බවයි.

රට තුල සිදු කිරීමට බපාපොරොත්තු වු වෙනස එලෙසම සිදු වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 රට තුල උද්ගල වු සහල් ගැටළුව විසදීම සඳහා  ජනාධිපතිගේ සහය අවශ්‍ය වු විට  සඳයා ජනාධිපතිවරයාගේ සහය ලැබුන බවත් මීට පාර රට පාලනය කළ නායකයන්ගෙන් එවැනි සහයක් නොලැබුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මීළඟ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි වන්නේ ආසන 5ක් පමණක් බවට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනාවැකි පළ කරයි. 

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන පිලිබඳ පැවති සාකච්ජාවකදීය. එම සාකච්ජාවේදී අන් අය පළ කළ අදහස් වලට නිහඩවම සවන් දෙමින් සිටි දිසානායක මහතාගෙන් එහි සිටි අය ඉල්ලීමක් කරනු ලැබුවේ මේ සම්බන්ධයෙන් තමන්ගේ ද අදහස් පළ කරන ලෙසය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාන සංඛ්‍යාව 05 බහින බව සඳහන් කළේ ඒ අවස්ථාවේදීය. 

මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉතිහාසයේ මොන ගැටළු තිබුණද, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ ඡන්දයෙන් පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජනාධිපති කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බේරා ගැනීමට ඇති එකම ගණුදෙනුව වන්නේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ලෙස පත් කරගැනීම පමණක් බව මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මේ බව පවැසීය.

“අනුර කුමාර දිසානායක මහත්තය යාළුවා තමයි. එතුමාගේ කථාව හොඳයි තමයි එහෙත් මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණට ගහන ඡන්දය තේරුමක් නෑ. අදහස හොඳ වුණාට ඒක මහපොළොවේ පැල කරන්න බෑ. අනුර කුමාර මහත්තයාට ලක්ෂ 5ක් ඡන්ද ලැබුණොත්. මේ රට වෙනුවෙන්, මේ රටේ නායකයා තොරන මැතිවරණය වෙනුවෙන්. අබමල් රේණුවක දායකත්වයක් ලැබෙන්නේ නෑ.“

මැතිවරණ සමයේදී ජනතාවට ලබාදිය යුත්තේ ඉටුකළ හැකි පොරොන්දු බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.

ජනාධිපති මැතිවරණයේ දී විරුද්ධ අපේක්ෂකයින් ලබා දෙන පොරොන්දු දෙස බැලීමේ දී ඒවා ලබා ගැනීමට පොහොර උරයත් මදි වෙනු ඇතැයි දිසානායක මහතා මෙහිදී පැවසීය.

වතු කම්කරුවන්ට තම ආණ්ඩුවෙන් රුපියල් 1000 ක් ලබා දීමට නොහැකි වු නමුත් මේ වන විට1500 ක් දෙන බව පවසන යැයි ද කියා සිටි ඒ මහතා, මේ මොහොතේ ජනතාව රවට්ටමින් සිටින බවත් සඳහන් කළේය.

නමුත් තමාගේ කඳවුරේ අය නම් එකක් දෙන්නම් කියද්දි දෙකක් දෙන්නම් කියලා බොරු පොරොන්දු ලබා නොදෙන බවත් පැවසු ඒ මහතා, රටට බැරි ලෙස දේවල් දිය නොහැකි බවත් දු කියා සිටියේය.

තම කඳවුර තුළත් ජනතාවට නොමිලේ දේවල් ලබා දෙන බවත් ඒ ලබා දෙන්නේ රටට දැරිය හැකි දේවල් බවත් දිසානායක මහතා පැවසීය.

බලය, තනතුරු සියල්ල තබා ගෙන බලය ලැබුණ විට දෙන්නම් යැයි පවසන බවත් කියා සිටි ඒ මහතා, බලය තියෙන විට නොදෙන දේවල් නැවත බලය දුන්විට කළ හැකි දැයි ප්‍රශ්න කර සිටියේය.

Page 1 of 4