April 27, 2024

"චන්ද්‍රිකා රටේ ගෞරවය කෙළසයි" - ජාතික හෙළ උරුමය

රාජ්‍ය නොවන සංවිධාන සමග එක් ව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය රටේත් බෞද්ධයාගේත් ගෞරවය කෙළසන බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා පැවසුවේ ය.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග වාර්තා හුවමාරු කර ගනිමින් එදා දොන් ජුවන් ධර්මපාලත් දෝන කතිරිනාත් ඉතිහාසයේ සිදු කළ පාවාදීමට නැවත වරක් උත්සාහ ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු ඒ බව පැවසූවේ ඊයේ බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

ශ්‍රී ලංකාවේ ආගමික නිදහස හා ආගමික සංහිඳියාවක් නොමැති බවත් බෞද්ධ ජනතාවගෙන් අන්‍යාගමිකයින්ට හිරිහැර සිදුවන බවත් අන්‍යාගමිකයින්ගේ නිදහසට නිරන්තරයෙන් පීඩා කරනවා යන බරපතල චෝදනා එල්ල කිරීමට හිටපු ජනාධිපතිවරිය කටයුතු කර ඇති බවත් ඔහු පැවසී ය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිතුමිය අද ජාත්‍යන්තර බලවේගවල වගේ ම රාජ්‍ය නොවන සංවිධාන වල අතකොළුවක් බවට පත්වෙලා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

“චන්ද්‍රිකා මැතිණිය දේශපාලනික ව ඉදිරියට ගේන්න කටයුතු කරපු බලවේග රාශියක් හිටියා. ඒ අතර ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විශාල කාර්යභාරයක් කරා සේ ම ඔවුන් නොයකේ ආකාරයෙන් එතුමිය ව කරලියට ගෙන ඒමේ මෙහෙයුමක නිරත ව සිටිනවා. ඒ හේතුවෙන් චන්ද්‍රිකා මැතිණිය අද ඉෂ්ට කරමින් ඉන්නේ කාගේ කොන්තරාත්තුව ද කියන එක පැහැදිලියි“ යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය. 

Rate this item
(0 votes)
Last modified on Friday, 14 March 2014 10:55