May 14, 2024

වැලිසර මාරක අනතුර : පිය - පුතු දෙපළ අත්අඩංගුවේ

November 05, 2021

පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකරමින් වැලිසර මහබාගේ ප්‍රදේශයේ ඊයේ පෙරවරුවේ සිදුවූ රිය අනතුරට අදාළව එම රථය පැදවූ 16 හැවිරිදි ළමයා සහ ඔහුගේ පියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ළමයා පැදවූ සුඛෝපභෝගී රථය මාර්ගයෙන් ඉවතට පැන අනෙක් මංතීරුවේ පැමිණි මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ අතර, ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ද ඊට මැදිවුණා.

අනතුරෙන් මියගියේ එක් යතුරුපැදියක ගමන් කළ මහබාගේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක්.

එම අනතුර වාර්තා වුණේ කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේදියි.

ජීප් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අනෙක් මංතීරුව වෙත කඩා වැදී තිබුණා.

ඊයේ පෙරවරු 9.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිසර පොදු සුසාන භූමිය ආසන්නයේදීයි.

කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුවී තිබුණා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පස්දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතරල එහිදී බරපතළ තුවාල ලබා සිටි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු සමඟ යතුරුපැදියේ ගමන් ගත් පසුපැදිකරුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා.

අනතුරට ලක්වූ සුඛෝපභෝගී ජීප් රථය ධාවනය කර තිබුණේ 16 හැවිරිදි දරුවෙක්.

ඔහු මහබාගේ ප්‍රදේශයේම ස්වර්ණාභරණ වෙළෙඳසැල් හිමිකරුවෙකුගේ පුත්‍රයෙක්.

ජීප් රථය ධාවනය කළ දරුවාගේ පියා ද පසුව එම ස්ථානයට පැමිණි අතර ඔහුට ද රැස්ව සිටි පුද්ගලයින් විරෝධය පළ කළා. 

අනතුරට පත් ජීප් රථය ධාවනය කළ 16 හැවිරිදි දරුවා සහ ජීප් රථයේ හිමිකරු වන එම දරුවාගේ පියා මහබාගේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද දිනයේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සබැඳි පුවත් : "මම නාන වේලාවේ තමයි මෙයා වාහනය අරන් ඇවිත් තියෙන්නේ" – වැලිසර බිහිසුණු අනතුරේ අතුරු කතාව

                  රටම කැළඹූ අනතුරේ සංවේදී දර්ශන සහ ඡායාරූප මෙන්න

                  පාසල් දරුවෙක් සුපිරි රියක් පදවා කළ මාරක අනතුර

 

Rate this item
(0 votes)