May 12, 2024

රටම කැළඹූ අනතුරේ සංවේදී දර්ශන සහ ඡායාරූප මෙන්න

November 04, 2021

අද උදෑසන වැලිසර ප්‍රදේශයේදී රථ වාහන කිහිපයක ගැටී මාරක අනතුරක් සිදු කළ 16 හැවිරිදි දරුවා සිය පියා ගේ මෝටර් රථය නිවසින් එළියට රැගෙන ගොස් ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

වැලිසර මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන මෝටර් රථයේ හිමිකරු අද උදෑසන සිය මෝටර් රථය සෝදා පවිත්‍ර කර ව්‍යාපාර කටයුත්තක් සඳහා කොළඹ යෑමට සූදානම් කර තිබෙනවා.

ඔහු ඒ ගමන සඳහා සූදානම් වන අවස්ථාවේදී අදාල ව්‍යාපාරිකයාගේ දාසය හැවිරිදි පුත්‍රයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරිය ජීප් රථය රැගෙන නිවසින් එළියට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

අධික වේගයෙන් මීගමුව දෙසට ධාවනය වූ මිට්ෂුබිෂි මොන්ටෙරෝ ස්පෝර්ට්ස් (mitsubishi montero sport) වර්ගයේ මෙම ජීප් රථය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ මැද පිහිටා ඇති බාධකය පරයා ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි රථ වාහන පෙළක් සමඟ ගැටී තිබෙනවා.

සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා සිටියේ මෝටර් රථය පැමිණි වේගයෙන්ම මාර්ගය මැද පිහිටා ඇති බාධකය හරහා ගොස් අනෙක් පැත්තට හැරී තවත් මෝටර් රථයක් උඩට පතිත වූ බවයි.

මේ අනතුරෙන් ඒ අවස්ථාවේ කොළඹ දෙසට ගමන් කරමින් තිබු යතුරු පැදියක ගමන් කළ පුද්ගලයකු සිද්ධිය වූ ස්ථානයේ දී ම මිය ගියා.

මීට අමතරව තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ 16 හැවිරිදි ළමයා සහ රථයේ හිමිකරු වන ඔහුගේ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

"අද පෙරවරුවේ මහබාගේ පොලිස් වසමේ බරපතළ ගණයේ මාරක රිය අනතුරක් සිදුවුණා. කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වු ජීප් රථයක් එහි රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතර පැන මීගමුව දෙස සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ කාර් රථයක, ත්‍රීරෝද රථයක හා යතුරුපැදි දෙකක ගැටීම නිසා එම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් 5 දෙනෙක් තුවාල ලබා රාගම රෝහල ඇතුළත් කරනු ලැබුවා. එයින් වයස 51ක මහබාගේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. තවත් එක් පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙනවා. අනෙක් දෙදෙනා තවදුරටත් රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී අනාවරණය වුයේ, එම ජීප් රථය පැඳවූ රියදුරුගේ වයස අවුරුදු 16ක් බවයි. එම ළමයාට ජීප් රථය පැදවීමට අවස්ථාව ලබාදුන් ජීප් රථයේ හිමිකරු වන ඔහුගේ පියාත් මේ වන විට අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව රියදුරා ද අත්අඩංගුවේ පසුවෙනවා. ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මහබාගේ පොලිස් ස්ථානය මඟින් තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා."

අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙක් ඒ පිළිබඳ විස්තර කරමින් පවසා සිටියේ, සුඛෝපභෝගී මෝටර් රථයේ ගැහැණු ළමයෙක් ද සිටි බවයි.

"අපි එද්දි මෙතෙන එක්කෙනෙක් වැටිලා හිටියා. එයාගේ ගොඩක් ඔළුව පැලිලා තිබුණා. බයික් එකේ ආපු එක්කෙනාගේ. බයික් එකේ පිටිපස්සේ හිටපු කෙනාගේ කකුල් කැඩිලා තිබුණා. කාර් එක් හිටපු කෙනා වයසක කෙනෙක් එයාටත් අමාරුයි."

ඒ පිළිබඳ අදහස් දැක්වු අනතුරට පත් ත්‍රීරෝද රථ රියදුරු, 

"මම ආවේ මෙහෙ ඉදන්. මම විතරයි ආවේ. ඊට පස්සෙ මෙහෙන් ආපු කාර් එක, ඔය කලු කාර් එක. ඔහෙන් කඩාගෙන බිඳගෙන ඇවිල්ලා අර ගැට්ට නැඟගෙන ඇවිල්ලා හැප්පුනා සුදු කාර් එකේ. කාර් එක මට ඉස්සරහින් ආවේ. එතකොට බයික් දෙකතුනේම හැප්පිලා මගේ ඇවිල්ලා බයික්ටික හැප්පුනා. මාව මේ පැත්තට වැටුණා."

අනතුර සිදුකළ බවට සැකපිට පොලීසියෙන් අත්අඩංගුවට ගත් ළමයාගේ පියා ද පසුව එම ස්ථානයට යතුරුපැදියකින් පැමිණ තිබුණි.

"වාහනය හෝදලා තියලා මම නානවා. නාන වෙලාවේ තමයි මේක මේ පැදගෙන ඇවිත් තියෙන්නේ. නවයා හමාර වෙද්දි මම කොළඹ යන්න ඕනේ. මේ කොහෙවත් ගමනක් ගිහිල්ලා නෙමෙයි ඔය නිකන් අරගෙන ඇවිත්. දොස් කියන්නේ දෙමාපියන්ට. අපි වරදවල් කරන්නේ නැහැ. පණ වගේ බලනවා එතකොට දොස් කියන්නේ අපිට."

Rate this item
(3 votes)
Last modified on Friday, 05 November 2021 09:18