September 28, 2020

20 ගෙනාවේ සීමිත අරමුණු ඇතිව

යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය වන්නේ දීර්ඝ කාලයක් කල් දැමිය නොහැකි ප‍්‍රශ්න ඉතාමත් ඉක්මනින් නිරාකරණය කිරීමේ සීමිත අරමුණ ඇතුව යැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.
 
බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවැසූ ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

පළාත් සභා පිළිබඳව දැනට රජය තීරණයකට පැමිණ නැහැ. මේ කාරණා පිළිබඳ තීරණ ගෙන අවශ්‍ය නීතිමය වගන්ති සකස් කළ යුත්තේ සමස්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේදී. එය විසිවන සංශෝධනයට කිසිසේත් අදාළ වන්නේ නැහැ. පළාත් සභා බලතල, පළාත් සභා පිළිබඳ කිසිම ප‍්‍රශ්නයක යෝජිත 20 වන සංශෝධනයට ඇතුළත් කර නැහැ. ඒවා සලකාබලා තීරණ ගැනීම සුදුසු වන්නේ අංගසම්පූර්ණ ව්‍යවස්ථාවක් සකස් කරන විට. විසිවන සංශෝධනය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කර්තව්‍යයේ ප‍්‍රථම පියවරයි.
 
20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමට යෙදුනේ මෙම මස 2 වැනිදා. ඉන්පසු එහි නොයෙක් වගන්ති පිළිබඳව පක්ෂව, විපක්ෂව විවිධ මත යම් යම් අදහස් විවේචන පළවුණා. එැවැනි මහජන සංවාදයක් ඇතිවීම හොඳ දෙයක්. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක අවශ්‍ය ලක්ෂණයක්. සංවේදී රජයක් හැටියට සෑම අවස්ථාවකදීම ජනතාවට කන්දී ජනතාව ප‍්‍රකාශ කරන මත පිළිබඳව අවධානය යොමු කරලයි අවසාන තීරණ ගන්නේ. විශේෂයෙන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීම සම්බන්ධව.
 
එමනිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළා මෙතෙක් දුරට යෝජිත 20 වන සංශෝධනය පිළිබඳව ප‍්‍රකාශ වී තිබෙන මත හා අදහස් ගැඹුරින් අධ්‍යනය කර එතුමාටත්, කැබිනට් මණ්ඩලයටත් වාර්තාවක් සැපයීමට නව දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබුවා. මෙම කමිටුව රැුස්වී විසිවන සංශෝධනය සමස්තයක් ලෙස ගෙන වගන්තියෙන් වගන්තිය ගැඹුරින් විශ්ලේෂණය කර කමිටුවේ නිර්දේශ හා නිගමන අද (15 දා* අගමැතිතුමාටත්, අනිද්දා කැබිනට් මණ්ඩලයට නිල වශයෙන් ඉදිරිපත් කරනවා. ඉන් පසුවයි මේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක‍්‍රමවේද පිළිබඳ අවසාන තීරණ ගනු ලබන්නේ.
 
20 වන සංශෝධනය කියන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආරම්භය පමණයි අවසානය නොවේ. අපි විශ්වාස කරනවා ඉතාමත් ඉක්මනින් විසඳිය යුතු යම් යම් ප‍්‍රශ්න තිබෙන බව. ඒවා දීර්ඝ කාලයක් කල්දැමිය නොහැකියි. ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමැති ධුරය දැරීම පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවන්නට බැහැ. රටේ ආරක්ෂාව, සාමය තහවුරු කිරීමට අවශ්‍ය දෙයක් ඒ පිළිබඳ පැහැදිලි නීතිමය තත්ත්වයක් තිබීම අත්‍යාවශ්‍යයි. එය අධිකරණයට භාරදී දීර්ඝ කාලයක් නඩු කියලා ඒ විදියේ අවිනිශ්චිත තත්ත්වයක් තිබීමට පුළුවන්ක මක් නැහැ. එවැනි කරුණු ඉතාමත් ඉක්මනින් නිරාකරණය කළ යුතු වෙනවා. ඒ සීමිත අරමුණ ඇතුවයි 20 වන සංශෝධනය නිර්මාණය වන්නේ.
 
ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළා. පසුගිය මැතිවරණ ව්‍යාපාරය තුළම අපි වේදිකාවල පුන පුනා ප‍්‍රකාශ කළා 19 වන සංශෝධනය ඉවත් කරනවා. එහි දෝෂ රාශියක් තිබෙනවා, ඉන් රටට ලොකු විනාශයක් වෙනවා. ඒ නිසා අපි 20 වන සංශෝධනය ගේනවා කියලා. ඒ සඳහා අපට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යයි කියලා. ඒ ආයාචනය අපි ජනතාවට කළා. ඊට ජනතාව හොඳ ප‍්‍රතිචාරයක් දැක්වූවා.
 
20 වන සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු අපි අංගසම්පූර්ණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ කර්තව්‍යයට අවතීර්ණය වෙනවා. එය කාලීන අවශ්‍යතාවයක්. වර්තමාන ව්‍යවස්ථාව ජේ. ආර්. ජයවර්ධන යුගයේ හැදුවේ අවුරුදු 42 කට පෙර. ඉන්පසු අපේ සමාජය විවිධ අයුරින් වෙනස් වී තිබෙනවා. ඒ නිසා වර්තමාන සමාජයට අවශ්‍ය පරිදි අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අපි සකස් කළ යුතුයි.
 එහි ප‍්‍රධාන කාරණය වන්නේ පවතින සමානුපාතික මැතිවරණ ක‍්‍රමය. වර්තමාන මැතිවරණ ක‍්‍රමය ඉතාමත් නුසුදුසු බව අද සියලූ දෙනාම පිළිගන්නා කාරණයක්. මනාප ඡුන්ද ක‍්‍රමය නිසා විශාල හානියක් සිදු වෙනවා. එය අප රටට කිසිසේත් ගැළපෙන්නේ නැහැ. එය වෙනස් කළ යුතු බවට මතය රටේ මුල්බැස තිබෙනවා. ඒ සඳහා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී අපට සලකා බලන්න වෙන මිශ‍්‍ර ක‍්‍රමයක්. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් කොටසක් ඡුන්ද කොට්ඨාස නියෝජනය කරනවා. අනෙක් මන්ත‍්‍රීවරුන් සමානුපාතික ක‍්‍රමයට පාර්ලිමේන්තුවට ප‍්‍රවිශ්ට වෙනවා.

අද මැතිවරණ ක‍්‍රමය තුළ තිබෙන ප‍්‍රධාන දුර්වලතාවය මන්ත‍්‍රීවරයා හා ඡුන්ද දායකයා අතර සම්බන්ධතාවය අතිශයින් දියාරු වීම. එය නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර ලක්ෂණයක් නොවෙයි. අද ඡුන්ද කොට්ඨාසයක් නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙක් නැහැ. ඒ වගේම අතුරු මැතිවරණ නැහැ. අතුරු මැතිවරණ තිබීමෙන් ආණ්ඩුවේ ජනප‍්‍රියභාවය උරගා බැලීමට අවස්ථාව ලැබෙනවා. එවැන්නකට අද ඉඩකඩ නැහැ. අනෙක් ප‍්‍රධාන ප‍්‍රශ්නය මැතිවරණයට වියදම් කරන මුදල් බොහෝ රටවල සීමා වී තිබෙනවා. නීති පනවා තිබෙනවා මැතිවරණයකදී වියදම් කරන මුදල් සීමාවී තිබෙනවා. විනිවිදභාවය වැදගත් වෙනවා. ඒ පිළිබද විස්තර ජනතාවට ලබා ගැනීමට හැකි වන පරිදි නීති අපි සකස් කළ යුතුයි.
 
එමනිසා මේ සියලූම ප‍්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනවා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කෙරෙන අවස්ථාවේදී. නමුත් ඒ සියල්ලක් කෙරෙන තුරු බලා සිටින්න බැහැ. අංග සම්පූර්ණ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සංකීර්ණ කර්තව්‍යයක්. සියලූ දෙනාගේ මත විමසිය යුතුයි. ඒ නිසා ඒ සඳහා කාලයක් ගත වෙනවා. එතෙක් බලාසිටිය නොහැකියි ක්ෂණිකව විසඳිය යුතු ප‍්‍රශ්න පසෙකට දමා. ඒ නිසයි 20වන සංශෝධනය අවශ්‍ය වන්නේ. දෙවන අදියරයේදී රජයක් හැටියට අප බලාපොරොත්තු වෙනවා සමස්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට.
 
20 වන සංශෝධනයේ කෙටුම්පත සකස් කළේ රජය. එවැනි කෙටුම්පතක් එක් පුද්ගලයෙක් හදන්නේ නැහැ. සාමූහික වගකීමට අනුව කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලේඛනයක් රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව. ඒ නිසා ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාර ගන්නවා. 20 වන සංශෝධනය පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කළ පසු සතියක කාලයක් තියෙනවා ජනතාවට අවශ්‍යනම් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට.
 
පළාත් සභා පිළිබඳ විවිධ මත තිබෙනවා. පළාත් සභා නැතිව අවුරුදු දෙකක් මෙරට පාලනය කළා. මැතිවරණයට බිය නිසා පසුගිය රජය දින නියමයක් නැතුව පළාත් සභා කල්දැමුවා. මේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම තුනෙන් දෙකක බහුතරයක් ලබාදුන්නේ දෙමළ සන්ධානය. එදා දෙමළ සන්ධානය යහපාලන ආණ්ඩුවට සහයෝගය නුදුන්නා නම් පළාත් සභා මැතිවරණ පවත්වා අවසන්. පළාත් සභා නැතුව අවුරුදු දෙකක් රට ගෙන යෑමට පුළුවන්කම ලැබුණා නම් මේවායේ අවශ්‍යතාවය පිළිබඳව ප‍්‍රශ්නයක් පැන නඟිනවා.

මෙම අවස්ථාවට පක්ෂයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ද එක්විය.

Rate this item
(0 votes)