April 27, 2024

ප්‍රභූන්ට අවසර නෑ - මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට අවසර දෙන්නේ මේ අයටයි

අභිනව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 20 වැනිදා මන්ත්‍රීවරු දිවුරුම් දෙන අයුරු දැක බලා ගැනීමට එක් මන්ත්‍රීවරයකුට කැඳවාගෙන ආ හැකි පවුලේ සාමාජික සංඛ්‍යාව දෙදෙනකුට පමණක් සීමා කර තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ කොවිඩ් වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙම සීමාව පනවා ඇති බවයි. 

මන්ත්‍රීවරුන්ගේ ආධාරකරුවන් කිසිවකුට එදින පාර්ලිමේන්තු ගැලරියට පැමිණීමට අවසර ලබා නොදෙන බවත් ප්‍රභූ ගැලරියටද කිසිදු ප්‍රභූවරයකුට ආරාධනා නොකරන බවත් හෙතෙම සඳහන් කළේය.

එදින පාර්ලිමේන්තුවේ සිදුවන්නේ පළමුව මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සහ ඉන්පසුව කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයා තෝරා පත්කර ගැනීම පමණයි.

මංගල රැස්වීමදා බොහෝ විට පක්ෂ නායකවරුන් අදහස් ප්‍රකාශ කරනු ඇතැයිද කථානායක, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයා තෝරා ගැනීමට ඡන්ද විමසීම් නොපැවැත්වුවොත් රැස්වීම ඉතා ඉක්මනින් අවසන්වනු ඇතැයිද වේත්‍රධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 11 August 2020 12:15