April 26, 2024

ඌරු ජුවාගේ ගෝලයෙක් අත්අඩංගුවට

වැටලීම්වලින් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගෙන තිබූ හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුන්සිය විස්සකට අධික ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත අද (20)  භාර දුනි.

ඒ අදාළ මත්ද්‍රව්‍යවල සංයුතිය වෙනස් කර ඇත්දැයි සොයා බැලීම සඳහාය.

මත්කුඩු නැවත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අළෙවි කළ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වූ අතර මේ වන විට ඒ පිළිබඳ විමර්ශන සිදු කෙරෙමින් පවතී.

පොලිසිය පැවසුවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව තිබූ මත්ද්‍රව්‍ය තොගයේ අවසන් කොටස ලෙස හෙරොයින් කිලෝ ග්‍රෑම් 279 ග්‍රෑම් 500 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 45යි ග්‍රෑම් 654ක් අද මෙලෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදුන් බවය.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගෙන තිබූ මෝටර් රථ දෙකක්ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අද භාරදුනි.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ''සමයං'ගේ ගෝලයෙකු වන පහළ බෝමිරිය, කඩුවෙල පදිංචි  චමින්ද කුමාරෙව නවගමුව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුණි.

42 හැවිරිදි සැකකරු හෙරොයින් ළඟ තබා ගැනීම සහ විකිණීම යන චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව ඇති අතර ''සමයං '' නැමැත්තාගේ හෙරොයින් ජාවාරම මෙහෙයවීම හා මුදල් පරිපාලන කටයුතු සිදුකරන බවටද තොරතුරු වාර්තා වේ.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ''ඌරු ජුවා''ගේ ගෝලයෙකු වන හෙට්ටිආරච්චිගේ ජගත් කුෂාන් දිල්රුක් නැමැත්තාද රණාල ප්‍රදේශයේ දී නවගමුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

2015 වර්ෂයේදී ඌරු ජුවා සහ හත්දෙනෙකු සමඟ එක්ව රණාල ප්‍රදේශයේදී චාමර නැමැත්තෙක් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වේ.

ඒ අතර බන්ධනාගාරයේ සිට ඊසි කෑෂ් හරහා මත්කුඩු ජාවාරම මෙහෙයවන ''පොඩි තිළිණ ''නැමැත්තාගේ ගෝලයින් වන ''රොඩා'' සහ ''නලියා '' නැමැති සැකකරුවන් මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඒ අනුව සැකකරුවන්ව මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

Rate this item
(0 votes)