April 27, 2024

බැසිල්ගේ අණින් රෙජිනෝල්ඩ් මාතරට යයි - ආණ්ඩුකාරකමකුත් පොරොන්දු වෙලා

හිටපු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු වූ රෙජිනෝල්ඩ් කුරේ මහතාව මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂක නිපුන රණවක මහතාගේ ජන්ද කටයුතු වලට සහය දීම සඳහා මාතරට යැවීමට බැසිල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙයි.

රණවක මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ සොහොයුරියගේ පුත්‍රයා වන අතර ඔහුට එරෙහිව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අන් අපේක්ෂයන් රැසක් මනාප සටනට නියැලී සිටියි. 

එහි මූලිකත්වය ගෙන තිබෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන කාංචන විජේසේකර මහතා වන අතර ඔහු හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එකට ජන්ද ව්‍යාපාර කටයුතු වල නියැලෙන බවද වාර්තා වේ. කාංචන විජේසේකර මහතා හිටපු අමාත්‍යවරයෙකු වූ මහින්ද විජේසේකර මහතාගේ පුත්‍රයාය.

මේ වන විට රෙජිනෝල්ඩ් කුරේ මහතා රණවක මහතාගේ රැස්වීම් අමතමින් දේශපාලන කටයුතු වල නියැලෙන අතර ඔහුට මහ මැතිවරණයෙන් පසු පළාත් ආණ්ඩුකාර ධූරයක් ලබා දීමට පොරොන්දු වී ඇති බවද වාර්තා වේ.

රෙජිනෝල්ඩ් කුරේ මහතා එළඹෙන මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු ලැයිස්තුවෙන් තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද ඔහුට එම අවස්ථාව නොලැබුණි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 July 2020 21:05