April 26, 2024

නාකොටික් නිලධාරීන් පැන්නූ කුඩු වෙනුවට අජිනමෝටෝ සහ ලුණු එක්කරලා (VIDEO)

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්කුඩු තොග කූඨ ලෙස විකිණීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එම කාර්යාංශයේ නිලධාරීන් දොළොස් දෙනෙකු මේ මස 08 වන දා දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලද එම නිලධාරීන් පිරිස ඊයේ (02) සවස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් ජූනි මස 12 වන දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 05 ක් සමග අත්අඩංගුවට ගන්නා ලද චන්දන ප්‍රියංකර නමැති සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත් තොරතුරු මත මෙම සැකකරුවන් පිරිස අත් අඩංගුවට ගත් බව කියා සිටියේය.

ඉකුත් අප්‍රේල් මස 15 වන දා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද කිලෝ ග්‍රෑම් 500ක මත්ද්‍රව්‍ය තොගය මෙන්ම අප්‍රේල් මස 30 වන දා සහ මැයි මස 15 වන දා අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්කුඩු තොග පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නඩු ගබඩා කාමරයේ ඇසුරුම් කිරීමේදී  එම මත්ද්‍රව්‍යවලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කොට අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම සැකකරුවන් කටයුතු කර ඇති බවට විමර්ශනවලින් හෙළි වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම අපරාධ ක්‍රියාවට මෙම සැකකරුවන් සම්බන්ධ බවට බැලූ බැල්මටම සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත් ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් සඳහන් කළේය.

මෙම සැකකරුවන් භාරයේ තිබී රුපියල් තුන් කෝටි විසිතුන් ලක්ෂ අනු දහසක මුදලක් සහ වාහන කිහිපයක් මෙන්ම ටී. 56 වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ තවත් නිලධාරින් 4 දෙනෙකු මෙන්ම  සිවිල් වැසියන් තුන් දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කීය.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙය ඉතා සංකීර්ණ අපරාධ සිද්ධියක් බැවින් එම සැකකරුවන් පොලීසිය භාරයේ දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් මෙම අපරාධයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂි සම්පිණ්ඩනයක් මේ දක්වා පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති නිසා ඊට අදාළ විමර්ශන පැය විසි හතරක් තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව පැවසුවාය.

ඒ අනුව සැකකරුවන් දින 07ක කාලයක් එනම් මේ මස 08 වන දා තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය එදින ඔවුන් යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට අදාළ නඩු ගොනුව රහසිගත ලේඛනයක් ලෙස සලකා එය ආරක්ෂිත සේප්පුවේ රඳවා තැබීමට ද නියෝග කළාය.  

Rate this item
(0 votes)
Last modified on Friday, 03 July 2020 12:28