April 26, 2024

කොරෝනා වැළඳි මියගිය දෙවැනි පුද්ගලයා ආ ගිය තැන් හෙළිවෙයි

කොරෝනා වැළඳි මියගිය දෙවැනි පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා මැදියම් රැයේදී මීගමුව නගර සභා පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

මීගමුව මහ රෝහලේදී මියගිය 64 හැවිරිදි පුද්ගලයා මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඩි පොලිස් ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔහුගේ සිරුර මීගමුව මහරෝහලේ සිට මීගමුව මහනගර සභා පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස් තිබේ. 

දේහය පිළිබඳ අවසන් කටයුතු මධ්‍යම රැයේදී සිදුකෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසීන්ට අනුකූලවය.

කොරෝනා වෛරසය වැලදී මියගිය මෙම පුද්ගලයා පසුගිය 08වනදා යාපනයේ ඥාති නිවෙසක පැවැති මංගල උත්සවයකට ද සහභාගී වී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරන ලද සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ, ඔහු පෝරුතොට ගමේ නිවෙස් කිහිපයකටම ගොස් ඇති බවයි. 

එමෙන්ම කොළඹ සහ කටුනායක ප්‍රදේශවල රැකියාව කරන ඔහුගේ පුතුන් දෙදෙනා ද රෝගී පියා වෙසෙන පෝරුතොට නිවසට පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම පැමිණ තිබේ.

හෘදයාබාධයකින් සහ ස්වසන ආබාධයකින් පෙළෙන මෙම පුද්ගලයා මෑතකදී මීගමුව වැල්ලවීදිය සහ පෙරියමුල්ල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකට ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරයි. 

පසුගිය 29වනදා ඔහුගේ තත්ත්වය අසාධ්‍යවීම හේතුවෙන් මීගමුවේ පිහිටි පෞද්ගලික රෝහලකදී නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේ.

ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇත්තේ, පෙරේදා පෙරවරුවේ මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවය. 

මෙම 64 හැවිරිදි පුද්ගලයාට කොරෝනා වැළදී ඇත්තේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත. 

කෙසේ වෙතත් මොහු පදිංචි ව සිටි මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ටාක්කියා මාර්ගය සම්පූර්ණයෙන්ම බාහිර සබ්බන්ධතාවලින් තොරව ආරක්ෂක අංශ විසින් හුදකලා කර තිබේ.

ඔහු පදිංචිව සිටි නිවස ඊයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කර තිබේ. එහිදී අනාවරණ වූයේ දරුවන් කිහිපදෙනකු සමඟ පුද්ගලයින් 16 දෙනෙකු එම නිවසේ සිටින බවයි.

අනතුරුව එහි සිටි පිරිස හා ඔහුගේ කටුනායක පිහිටි දරුවාගේ නිවෙස් වල සිටින පිරිස නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

මියගිය පුද්ගලයා ප්‍රතිකාර ලබාගත් ස්ථානවල සිටි පිරිස් ද ස්වයං නිරෝධායනයට ලක්කළ බව සෞඛ්‍ය අංශ පැවසීය. 

මේ අතර ඔහුට ප්‍රතිකාර සිදුකළ මීගමුව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ සාමාජිකයින් ද ස්වයං නිරෝධායනය සඳහා මීගමුවේ පිහිටි පෞද්ගලික හෝටලයකට ඇතුළත් කෙරුණි.

මේ අතර කොරෝනා වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වූ අයෙකු හමුවීමත් සමඟ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අදාළ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් සහ කාර්යය මණ්ඩලය නිරෝධායනය කෙරුණි.

ඒ අනුව එම වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුලු කාර්යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාල නේවාසිකාගාරයේ දින 14 කාලයක් නිරෝධායනයට ලක්කිරීම සඳහා යොමු කර තිබේ.

අනෙක් රෝගීන් පිරිස හෝමාගම මුළික රෝහල තුළ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වනු ඇත. 

Rate this item
(1 Vote)