September 24, 2020

කොරෝනා සුව කරන්න තේ හොඳයි? කිසිදු සාක්ෂියක් නොමැති ව්‍යාජ පුවතක්

මුළු ලෝකයම කොරෝනා වෛරසය සමඟින් පොර බඳිමින් සිටින අතර, ලෝක නායකයින්, පර්යේෂකයින් මෙන්ම වෛද්‍යවරුන් ද ඒ සඳහා පිළියම් සොයමින් සිටියි.

ව්‍යාජ පුවත් සහ තවමත් නිශ්චිතව ඔප්පු කර නොමැති කරුණු කාරණා සමාජ ජාලා ඇතුළු අන්තර්ජාල ඔස්සේ හුවමාරු වීම මත මේ කාලය තුළ වඩාත් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. 

මෙවන් පුවතක් විදෙස් මාධ්‍යක්වන CNN විසින් වාර්තා කළා යැයි සඳහන් කරමින්, සමාජ මාධ්‍යන්හි මේ වන විට හුවමාරු වේ. ඒ පුවත නම් "තේ පානය කිරීම කොරෝනා රෝගය සුව කිරීමට හේතුවක් වන" බවයි.

මාරාන්තික කොරෝනා වෛරසය මුලින්ම හඳුනාගත් සහ එම වෛරසයෙන් මියගිය චීන වෛද්‍යවරයා ලේඛනගත කළා යැයි සඳහන් කරමින් CNN පුවත් සේවය මෙම "විශේෂ පුවත" වාර්තා කර තිබූ බව සමාජ මාධ්‍යන්හි විවිධ රටවල පුද්ගලයන් සඳහන් කර තිබිණ.

එහි දැක්වෙන්නේ, "අදාළ චීන වෛද්‍යවරයා වන ලී වෙන්ලියන්ග්(Li Wenliang), සිය ලිපිගොනු මඟින් කොරෝනා සඳහා ප්‍රතිකාරයක් යෝජනා කර ඇතැයි" යන්නයි. ඒ නම් "ඉන්දියාවේ තේ" මේ සඳහා වන ප්‍රතිකාරය බවට එහි දැක්වෙන බවට වාර්තා කර ඇත.

නමුත් එවැනි පුවතක් CNN මගින් ප්‍රචාරය කර ඇති බව සොයාගැනීමට නොමැත.

මෙම පුවත ෆේස් බුක්, වට්ස්ඇප් සහ ට්විටර් ඔස්සේ හුවමාරු වන අතර ශ්‍රී ලංකාවේද සමාජ මාධ්‍ය මෙන්ම පුවත් අඩවි කිහිපයකම මේ පිලිබඳ දක්වා තිබිණි. 

මෙම පුවත නොමඟ යවන සුළු ව්‍යාජ පුවතක් බවත් CNN මාධ්‍ය තුළ මෙවැන්නක් සොයා ගත නොහැකි බව ඉන්දියා ටුඩේ ප්‍රකාශ කරයි.

CNN විසින් එම වෛද්‍යවරයා සම්බන්ධව වාර්තා කරන නමුත් එහිදී කොරෝනා සඳහා වන ඖෂධයක් ගැන හෝ වෙනත් යමක් ගැන සඳහනක් කර නොමැති බව සඳහන් වේ.

මෙවන් කිසිදු සාක්ෂියක් නොමැති "ව්‍යාජමය පුවත්" සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම ගැටලු සහගත බව ඉන්දියා ටුඩේ (IndiaToday) පෙන්වා දෙයි.

Rate this item
(0 votes)

Live