April 26, 2024

එළවළු මිල පාලනය කරන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

February 25, 2020

අධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක් වහාම සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

අධික එළවළු මිල  ජීවන වියදම ඉහළ යාමට දැඩිව බලපා තිබේ. එය පාලනය කිරීමට කඩිනම් මැදිහත්වීමක් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට සහ වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී කියා සිටියේය.

එළවළු වගා කරන ප්‍රදේශවල සිට දඹුල්ලට එළවලු ගෙන එනු ලැබේ. ඉන් පසු දඹුල්ලේ සිට නැවත  මුල් ප්‍රදේශවලටම එළවළු බෙදා හැරේ. ප්‍රවාහනයේ දී සිදුවන නාස්තිය නිසා අස්වැන්න විශාල ප්‍රමාණයක් අපතේ යයි. මෙය කිසිසේත්ම නිවැරදි ක්‍රියාදාමයක් නොවන බව  ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වතු සමාගම්වලට අයත් රජයේ ඉඩම්වල පොල් වගාවට සීමා නොවී එළවළු වගාවට ඇති හැකියාව සොයා බැලීමට ද අවධානය යොමු විය.

ආර්ථික මධ්‍යස්ථාන ඇති කළේ පාරිභෝගික ජනතාවට සහ සුළු වෙළෙඳුන්ට සහන සැලසීමට වුවද ඒවා මහා පරිමාණ වෙළෙඳුන් යටතට පත්වීමෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ද අවධානයට යොමු වීී ඇති අතර යුද හමුදාවේ ද සහය ඇතිව එම කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ප්‍රදේශ කිහිපයක වී ගබඩා අළුත්වැඩියා කර තිබේ. සෙසු වී ගබඩා ද කඩිනමින් පිළිසකර කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

මොරගහකන්ද - කළුගග ව්‍යාපෘතියේ පදිංචිකරුවන්ගේ ගැටලු පිළිබදව ද සාකච්ඡා කෙරිණි. ඒවාට දිය හැකි කඩිනම් විසඳුම් සහ කොන්ත්‍රාත් සමාගම් වෙත කළයුතු ගෙවීම් නිසි අයුරින් නොකිරීම නිසා මතුව ඇති ගැටලු ද සාකච්ඡා කරනු ලැබීය.

උමා ඔය වැනි ව්‍යාපෘති ආරක්ෂා කිරීමට ඒ ආශ්‍රිතව රක්ෂිත ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

Rate this item
(0 votes)