April 27, 2024

ගෝඨාගේ නඩුව ඉක්මන් කරයි

December 04, 2018

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ජනවාරි මස 22 දා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම නඩුව අද (04) පෙරවරුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී නඩුවට අදාළ ලේඛන නිසි  පරිදි ලැබී තිබෙන බව පැමිණිලි පාර්ශවය මෙන්ම විත්ති පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව විත්තියට ලැබිය යුතු ලේඛන නිසියාකාරව ලැබී තිබේ ද යන්න තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා නඩුව නැවත ජනවාරි මස 03  වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල නඩු විභාගය ජනවාරි මස 22 වනදා සිට දිනපතා සිදුකරන බවද නියෝග කළේය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික  ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.

ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

 

Rate this item
(0 votes)