April 27, 2024

නොවැම්බර් 01 වැනිදා පෙරළියක්! මහින්ද පොහොට්ටුවේ නායකත්වය බාරගනී - ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුත් පොහොට්ටුවට

නොවැම්බර් 01 වැනිදා පැවත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි සංවත්සරයේදී පක්‍ෂය නිල වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බාරදී පක්‍ෂ නායකත්වය සඳහා ඔහුව පත්කරගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ස්ථීර වශයෙන් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වන බවත් එමෙන්ම එදිනට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් පක්‍ෂ සමාජිකත්වය ලබාගන්නා බවත් සියලූම දිස්ත‍්‍රික්ක සඳහා ආසන සංවිධායකවරුන් පත් කරන බවත් මන්ත‍්‍රීවරයා අවධාරණය කළේය.

බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසී ය.

මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

“මිනිස්සු දැනටමත් පොදුජන පෙරමුණ වටා ඒකරාශී වෙලා ඉවරයි. ඒ බව නොවැම්බර් 2 වැනිදාට යෙදෙන පක්‍ෂ සංවත්සරයේදී අපි පෙන්වනවා. අපිත් එක්ක ඉන්න මිනිස්සු නැවත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන්නේ නැහැ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන්න අපෙත් කිසිම බළාපොරොත්තුවක් නැහැ. ඔවුන්ට ඕනනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බැදෙන්න පුළුවන්“

ඒකාබද්ධයේ සාකච්ඡාවට 16 කණ්ඩායමත්

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායමද සහභාගීවනු ඇතැයි වාර්තාවේ.

මෙම රැස්වීමට සහභාගීවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා අතර ඊයේ (18) පෙරවරුවේ සාකච්ඡාවක් පැවති බවද වාර්තාවේ.

මෙම රැස්වීම අද (19) පෙරවරු 11.30ට පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 4දී පැවැත්වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 June 2018 15:44