April 26, 2024

ලංකාව ගොඩනැඟීමට සහය දෙන බව මෝදි කියයි

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඉන්දියාව නිරන්තරයෙන් අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාව ගොඩනැඟීමට සහායකයෙකු හා මිතුරෙකු ලෙස ඉන්දියාව ළඟින් සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ කියා සිටියේ අද (12) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

බුදු දහම සහ එහි ඉගැන්වීම් දෙරටේ ආණ්ඩුකරණයෙහිලා සංස්කෘතිමය හා දාර්ශනික වශයෙන් ගැඹුරින් බැඳී තිබෙන බව පැවසූ නරේන්ද්‍ර මෝදි මහතා වසර දෙදහස් පන්සියයක් පැරණි වුවද, බුදුන් වහන්සේගේ පණිවිඩය 21 වන සියවසටත් වලංගු බවත්, එම වටිනාකම් ඉදිරියටත් ආරක්ෂා කරගත යුතු බවත් සඳහන් කළේය.

ඉන්දු-ශ්‍රී ලංකා බැඳීම් තරකරගනු වස් මෙම අවස්ථාව ඉතාම වැදගත් බව තමන් විශ්වාස කරන බවත් දෙමළ සහෝදරත්වයට වරණාසියේ කාසි විශ්වනාත් කෝවිල පහසුවෙන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ඔහු කියා සිටියේය.

එළැඹෙන අගෝස්තුවේ සිට වරණාසියේ සිට කොළඹ දක්වා ‘එයාර් ඉන්දියා‘ සෘජු ගුවන් සේවයක් ආරම්භ කරන බව තමන් ඉමහත් සතුටින් යුතුව නිවේදනය කරන බව නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේය.

මෙම වෙසක් උළෙල නොබිඳුණු බෞද්ධ උරුමය සිහිපත් කරන බවත් බුදු දහම ඉගැන්වීමට හා ඉගෙනීමට වැදගත් වන කේන්ද්‍රස්ථාන අතරින් ශ්‍රී ලංකාව ඉතාම වැදගත් ස්ථානයක් දරන බවත්, ඒ පිළිබඳ ශ්‍රී ලාංකිකයින් ආඩම්බර වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(1 Vote)