April 27, 2024

ගීතා තවදුරටත් මන්ත්‍රී පුටුවේ 

ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ලබන 15 දා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(12) නියෝග කළේය.

ඒ අදාළ තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය.

එමෙන්ම මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සම ද ලබන 15 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ (එජනිස) මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම්දී තිබුණි.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකළ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසී ය.

ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුව දෙනතුරු ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ පුරප්පාඩුව සම්පූර්ණ නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මූලිකත්වයෙන් රැස්වූ මැතිවරණ කොමිසම එම ඒකමතික තීන්දුවට එළැඹිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට පසුගියදා අභියාචනාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය.

ගීතා කුමාරසිංහ මහත්මියට ස්විට්සර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය පවතින අතර 19 වන සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරිය නොහැකි බව සඳහන් කරමින් ගාල්ල දිස්ත්‍රීක්කයේ ඡන්ද දායකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් තම පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි කිරීමට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සමක් ඉදිරිපත් කළාය. 

 

Rate this item
(1 Vote)