April 26, 2024

විමල් මෛත්‍රීට රනිල්ට ස්තූති කරයි  

අධිරාජ්‍යවාදයට ඉඩදී සමාජවාදය ගොඩනැඟීම පිළිබඳ සිහිනයක් දකිමින් රැය පහන් කිරීම වත්මන් වමේ භූමිකාව බවට පත්ව තිබෙන බව ජානිපෙ නායක, විමල් විරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ පෙරේදා (07) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී තමන් සිරගතව ලියූ ‘රටට උවමනා වම’ කෘතිය ජනගත කිරීමේ උත්සවයේදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට මා ස්තූතිවන්ත වෙනවා පොත් දෙකක් ලිවීමට කාලය සහ අවකාශය ලබාදීම පිළිබඳව. එතුමන්ලාගේ ‘දේශපාලන දඬයමට’ අනුකූලව මා සිරගත කිරීමේ තීරණය ගනු ලැබූවද එහිදී මා ලැබූ ප්‍රයෝජනයේ ප්‍රතිඵලය තමයි අද මෙලෙස ඔබ සැම වෙත පිළිගන්වනු ලබන්නේ.

“මා සිරගතව සිටින කාලයේ තමයි සෝවියට් දේශයේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට වසර 100ක් පිරුණේ. ඒ වගේම මා සිරගතව සිටින විට ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සැමරීමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වූවා. ඒක හරියට සාර් අධිරාජයා ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සැමරුවා වගේ වැඩක්. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට වසර 100ක් පිරෙන මේ මොහොතේ සෝවියට් සංගමය වගේම එය සතුව තිබූ සමාජවාදී ක්‍රමයත් නැහැ. ඒ වගේම ඊට මුල් වූ පරමාදර්ශී චරිත පිළිබඳ කියවීම් අද වෙනස් වී තිබෙනවා. බටහිර දාර්ශනිකයන් උදම් අනමින් සිටිනවා, ‘අපගේ චින්තනය හා දැක්ම ලෝකයේ එකම හා අවසානාත්මක චින්තනය හා දැක්ම බවට පත් වී තිබෙනවා’ කියා. මම මේ කාලයේ සිරකුටිය තුළට වී, ‘ගෙවී ගිය කාලය පුරා මේ රටේ සමාජවාදය පැළ කිරීමට බැරි වුණේ ඇයි?’ කියන ප්‍රශ්නයට මගේ මනසත් සමඟ තනිවම පිළිතුරු සොයන්න උත්සාහ කළා. බන්ධනාගාරය තුළ සිටියදී මට බොහෝ හිතවත් වූ, උදව් කළ සිරකරුවන් අතර බොහෝ විට හිටියේ මත්ද්‍රව්‍ය, අවි ආයුධ නීති විරෝධිව ළඟ තබා ගත් බවට චෝදනා ලැබූ පිරිස්. පසුකාලීනව මාධ්‍යවේදීයකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ද ආවා. ඊටත් පසුව ත්‍රිකුණාමලයේ සිට කොළඹට මාළු ලොරියක, අයිස් පෙට්ටියක බෝම්බ එවා මහා විනාශයක් සිදු කිරීම, වැළැක්වීමට මුල් වූ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇතුළු පිරිස අභූත චෝදනා මත අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ මා සිටි ‘ඊ වාට්ටුව’ වෙත එවා තිබුණා. කෙසේ වුවත් ඉහත කී සාකච්ඡාව සිදු කිරීමට සුදුසු පිරිසක් මට සිරගෙය තුළ හමු වුණේ නැහැ.“

“එසේ මා තනිවම කල්පනා කරන විට, පංති විෂමතාවය බහුල, සුද්දාගෙන් සහ වර්ණභේදවාදයෙන් බැටකාපු අප්‍රිකානු කලාපයේ සමාජවාදී ක්‍රමයක් බිහි නොවුණේ ඇයි?’ කියන ප්‍රශ්නය මතු වුණා. එක් අවස්ථාවක කියුබානු මැදිහත්වීම මත කෙටිකාලීනව ඇංගෝලාවේ සමාජවාදී පාලන ක්‍රමයක් බිහිකර තිබුණත් පොදු තත්වය එයයි. රුසියාව සහ කියුබාව වැනි ලතින් ඇමෙරිකානු රටවල් හැරුණු විට සමාජවාදී පාලන ක්‍රමයන් බිහි වූ වැඩි රාජ්‍යයන් ප්‍රමාණයක් අයත් වන්නේ ආසියානු කලාපයටයි. ‘සූරාකෑම බහුල වුවත්, පීඩිතභාවයේ කරවටක් ගිලී තිබුණත් අප්‍රිකානු කලාපයේ සමාජවාදී රටවල් බිහි නොවුණේ ඇයි?' කියන ප්‍රශ්නය වගේම ‘අවුරුදු 100කටත් කලින් සෝවියට් සමාජවාදී ක්‍රමය බිඳ වැටුණේ ඇයි?’ කියන ප්‍රශ්නය සමඟ මා මනස බොහෝ ‍වෙහෙසවමින් කල්පනා කළා. මාක්ස්වාදය සර්වතෝභද්‍ර දර්ශනයක් නම් එසේ විය නොහැකියි. ඇතැම් අය කියන්න පුළුවන් ‘ඒ භාවිතාවේ ගැටළු’ කියා. එසේ විය නොහැකියි. ඒ නිසයි මා පොතපත් ගෙන්වාගෙන ඉහත කී ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන ආකාරයේ කෘතියක් කිරීමට පෙළඹුණේ.

දිනෙන් දිනම රටේ ආර්ථිකය බිඳ වැටෙමින් තිබෙනවා. ඒ අතරේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා බලවත් රටවල් ඒ අයගේ ආර්ථික උපායමාර්ගයන්ට මේ රට ගොදුරුකර ගනිමින් සිටිනවා. ඉන්දියාව තමන්ගේ උපායමාර්ගික උවමනාවන්ට මේ රට තිප්පොළක් බවට පත්කර ගනිමින් තිබෙනවා. පරාජයට පත් කරන ලද බෙදුම්වාදී බලවේගයන්ට උවමනා ආකාරයේ ව්‍යවස්ථාවක් අද නිර්මාණය වෙමින් තිබෙනවා. ජිනීවාවලදී එකඟ වූ යෝජනාවලියට අනුව දවසින් දවස රටේ ජාතික ආරක්‍ෂාව බිලි දෙමින් සිටිනවා. ඒ අනුව පෙනී යන්නේ මේ රට නැවත වතාවක් බහුවිධ අර්බුද සුළියකට හසුවෙමින් තිබෙන බවයි. ඒ නිසා මා ඉහත කී ලෝකයේ සමාජවාදය පිළිබඳ ගැටළුවලටත් මේ අර්බුද සුළියටත් අපේම ‘විසඳුම් මාවතක්, චින්තනයක්’ නිර්මාණය කර ගත යුතුව තිබෙනවා. ඊට එක්තරා ආකාරයකට පුර්විකාවක් ලෙස තමයි ‘රටට උවමනා වම’ කෘතිය සම්පාදනය වුණේ.“ යැයිද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)