April 26, 2024

එජාපයට බලතල ඇති තනතුරක්: සජිත් ඇතුළු මැති ඇමැති 20ක් එජාපය හැරයයි? 

නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස, අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් 20දෙනෙකු එම පක්‍ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමති සරත් ෆොන්සේකා මහතාට එජාපයේ ඉහල තනතුරක් ලබා දීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගෙන ඇති බවත් එම පිරිස ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට කිසිසේත්ම සූදානමක් නැති බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

ඊයේ(08) පස්වරුවේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදීද ඇමති සරත් ෆොන්සේකාට එජාපයේ තනතුරක් යෝජනා වී නොමැති අතර ප්‍රධාන තනතුරුවලද වෙනසක් සිදු වනු ඇති බවට ඇතැම් වාර්තාවල සඳහන් වූ නමුත් එවැනි වෙනසක් සිදු නොවුණි.

එමෙන්ම පක්ෂයේ සහකාර නායක තනතුරු තුනක් පත් කිරීමේ යෝජනාව ද ක්‍රියාත්මක නොවීය.

බලගතු නව තනතුරක්

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ පරිපාලන කටයුතු සඳහා බලතල හිමි ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කිරීමට එම පක්ෂයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඒ පිළිබඳ සාකච්ඡා කර ඇත.

බ්‍රිතාන්‍යයේ දේශපාලන පක්ෂ බහුතරයක් තුළ ද පක්ෂ පරිපාලන කටයුතු සඳහා එවැනි තනතුරක් ක්‍රියාත්මක වේ. ඒ අනුව එජාපය තුළත් එවැනි තනතුරක් පිහිටුවා පක්ෂයේ පරිපාලන හා සන්නිවේදන අංශ එම තනතුර යටතට පත් කිරීමට යෝජනා වී ඇත.

පක්ෂයේ ඉදිරි වැඩකටයුතු වඩාත් වෘත්තීය මට්ටමින් පවත්වා ගෙන යාම සඳහා එවන් තනතුරක් අවශ්‍ය කරන බව එජාප ආරංචි මාර්ග පවසයි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 May 2017 15:21