April 27, 2024

උතුරේ අධිවේගී මාර්ග ඉදිකිරීම ඉන්දියාවට

යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය සහ දඹුල්ල-ත්‍රිකුණාමලය අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඉන්දියාව පොරොන්දු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ඉන්දියානු රජය වෙනුවෙන් ඉන්දියානු මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාර් මහතා මෙලෙස පොරොන්දු වී තිබේ.

ශ්‍රී ලංකාව දිනකට අලුතින් මහා මාර්ග කිලෝමීටර් 23 ක් බැගින් ඉදිකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගද්කාර් මහතාට දැනුම් දුන්නේය. ශ්‍රී ලංකාවේ දිගුකල් පවතින මහාමාර්ග ඉදිකිරීමට ඉන්දියාවේ විශේෂඥයින් සැපයීමට ඉන්දියාව සූදානම් බව ගද්කාර් මහතා පවසා තිබේ. 

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 26 දා හමුවෙමින් ගද්කාරි මහතා පැවසූයේ, නවීන තාක්‍ෂණය හා සිය අත්දැකීම් පදනම් කරගනිමින් වසර සියයක් පුරා කල්පවතින අන්දමින් මාර්ග ඉදිකිරීමේ ශක්‍යතාව දැන් ඉන්දියාව සතු බවයි.

එවන් ඉහළම ප්‍රමිතියකින් යුතු මාර්ග ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ද ගද්කාරි මහතා අවධාරණය කළේය.

මහා මාර්ග සහ අධිවේගී මාර්ග ආශ්‍රිතව නව ආර්ථිකයන් නිර්මාණය කරලීමේ අවශ්‍යතාව හා හැකියාව සම්බන්ධව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.
යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය යා කෙරෙන මාර්ගයක් ඉදි කිරීම නිසා උතුරේ ආර්ථිකය යළි පණගැන්වීමට අවශ්‍ය පසුබිම සකස් කර ගත හැකි ආකාරය පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි.

Rate this item
(0 votes)