April 27, 2024

සුගතදාස දෙවන ටෙන්ඩරයේත් අවුලක්

ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කළ නිර්දේශයට එකඟවෙමින් සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය එළීමේ ටෙන්ඩරය නැවත කැඳවන ලෙස කැබිනට් මණ්ඩලය කළ දැනුම්දීමට අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ටෙන්ඩර් කමිටුව එම ටෙන්ඩරය යළි කැඳවීමේදිත් බහුතර ටෙන්ඩර්කරුවන් පිරිසකට අගතියක් සිදුවී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර ටෙන්ඩර් කැඳවීමේ දී පළමු අවස්ථාවේ නොතිබූ කොන්දේසි කිහිපයක් පනවා ඇතැයි ද, ඉන් ටෙන්ඩර්කරුවන් වැඩි පිරිසකට අයැදුම් කිරීමේ අවස්ථාව අහිමිවී ඇතැයි ද ටෙන්ඩර්කරුවන් රැසක් චෝදනා එල්ල කරති. ටෙන්ඩර්කරුවන් වැඩි පිරිසකට අයැදුම් කිරීමේ අවස්ථාව ලබාදීමට ප්‍රසම්පාදන මණ්ඩලය උපදෙස් ලබාදී තිබුණ ද අලුතින් කොන්දේසි පනවා එම අවස්ථාව අහිමි කිරීම සදාචාරාත්මක නොවන බව ද ඇතැමුන් මැසිවිලි නගති.

මෙවර වඩාත් ක්‍රමවත් ආකාරයෙන් ටෙන්ඩර් කැඳවීම සිදු කිරීමේ අරමුණින් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් ටෙන්ඩර් කමිටුවේ වෙනස්කම් රැසක් සිදුකිරීමට පියවර ගැනීම කාගෙත් ප්‍රශංසාවට ලක්වූ කරුණක් විය. එසේ වුවත් ටෙන්ඩර් කැඳවීමට අදාළ කොන්දේසි පැනවීමේදී පළමු අවස්ථාවේ නොතිබූ කොන්දේසි ගණනාවක් පැනවීමෙන් වැඩි පිරිසකට මෙවර ටෙන්ඩරය සඳහා අයැදුම් කිරිමට නොහැකිවී තිබූ බව වාර්තා වෙයි.

සුගතදාස ක්‍රීඩාංගණයේ මිටර් 400 සහ මීටර් 200 කෘත්‍රිම ධාවන පථය නැවත එළීමේ ටෙන්ඩර් කැඳවීමේදී පනවා ඇති කොන්දේසි අතර ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ පළමු ශ්‍රේණියේ FULL PUR ධාවන පථ අවම තරමින් 5ක් එලා තිබීම අනිවාර්ය සුදුසුකමක් කිරීමත්, එහි ඝනත්වය අවම තරමින් 15 mm තිබිය යුතු වීමත් ගැටලු සහගත බව ටෙන්ඩර්කරුවෝ පවසති.

ඉහත කී ආකාරයට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ පළමු ශ්‍රේණියේ FULL PUR ධාවන පථ අවම තරමින් 5ක් එලා තිබීමේ කොන්දේසිය සපුරා ඇත්තේ දැනට අයැදුම් කොට ඇති ටෙන්ඩර්කරුවන් තිදෙනාගෙන් දෙදෙනකු පමණක් බව වාර්තා වෙයි. ඉන් එක් ටෙන්ඩර්කරුවකු එවැනි FULL PUR ධාවන පථ 6ක් සහ තවත් ටෙන්ඩර්කරුවකු එවැනි ධාවන පථ 11ක් එළා ඇතැයි සඳහන් වූවද සැබැවින්ම ඔවුන් මීට ඉහතදී එම කාර්යය සිදුකොට ඇත්තේ තවත් හවුල්කාර සමාගම් සමග එක්ව කටයුතු කිරීමෙන් බව ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට අයැදුම් කොට ඇති ටෙන්ඩර්කරුවන් එම හවුල්කාර සමාගම් සමග වර්තමානයේ දී කටයුතු නොකරන බැවින් ඔවුන් එම සුදුසුකම සපුරා ඇතැයි සඳහන් කිරිම සාවද්‍ය කරුණක් බව සෙසු ටෙන්ඩර්කරුවන්ගේ අදහස වී තිබේ. අදාළ ටෙන්ඩර්කරුවන් දෙදෙනාම සිය සමාගම් නාමය යටතේ එළා ඇති FULL PUR ධාවන පථ සංඛ්‍යාව 4ක් පමණක් වන බැවින් ටෙන්ඩර් කමිටුව පැනැවූ එවැනි පළමු ශ්‍රේණියේ FULL PUR ධාවන පථ අවම තරමින් 5ක් එලා තිබීමේ කොන්දේසිය ඔවුන් සපුරා ඇතැයි සඳහන් කිරීම සාවද්‍ය තොරතුරු ලබාදීමක් බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව කෘත්‍රීම ධාවන පථයේ ඝනත්වය 15 mmකට පමණක් සීමා කිරීම ගැටලුසහගත කරුණක් බවත්, ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ නීතිරීති ප්‍රකාරව එය 13 mm සිට 15 mm අතර තිබිය යුතු බවත් පවසන සෙසු ටෙන්ඩර්කරුවන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය ඝනත්වය 13 mm සිට ඉහළට පිළිගන්නා අවස්ථාවක එය අවම වශයෙන් 15 mm විය යුතු බවට පනවා ඇති කොන්දේසිය ටෙන්ඩර් කමිටුව එම තාක්ෂණික දැනුම පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කටයුතු කළ බවට නිදසුනක් බවට චෝදනා කරති.

එමෙන්ම මෙවර ටෙන්ඩර් කැඳවීමේ දී කෘත්‍රිම ධාවන පථයට ටෙන්ඩර්කරුවන් වගකීම (warranty) ලබා දෙන කාලසීමාව දක්වා පුර්ණ රක්ෂණ ආවරණයක් අවශ්‍ය බවට කොන්දේසියක් පැනවීම ද ගැටලුවට තුඩු දෙන එකක් බව ඇතැමුන්ගේ මතය වී තිබේ.

එවැනි රක්ෂණාවරණයක් ලබාදීමට කිසිදු රක්ෂණ සමාගමක් ඉදිරිපත් නොවන බවත්, එසේ රක්ෂණාවරණයක් අනිවාර්ය කිරීම ටෙන්ඩර්කරුවන් අධෛර්යමත් කරන කාර්යයක් බවත් ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කරති. දැනට අයැදුම් කොට ඇති ටෙන්ඩර්කරුවන් ද එම කොන්දේසිය සපුරා නැතැයි වාර්තා වෙයි.

සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය නැවත එළීම රුපියල් මිලියන 250ක හෝ ඒ ආසන්න මුදලකට නිමා කිරීමේ හැකියාව ඇතැයි ඇතැම් පාර්ශ්ව කියති. එසේ තිබියදී රුපියල් මිලියන 350කට ආසන්න මුදලකට මේ ටෙන්ඩරය ලබාදීමට කටයුතු සිදුකෙරෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය වර පනවා තිබූ පළමු ශ්‍රේණියේ සහතික ලත් කෘත්‍රිම ධාවන පථයක් දකුණු ආසියාවේ එළා තිබිය යුතුවීමේ කොන්දේසිය වෙනුවට පළමු ශ්‍රේණියේ FULL PUR ධාවන පථ අවම තරමින් 5ක් එළා තිබිය යුතුවීමේ සහ තවත් ඉටු කළ නොහැකි කොන්දේසි පැනවීමෙන් මෙවරත් සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය නැවත එළීමේ ටෙන්ඩරයසුදුසුකම් ලත් ටෙන්ඩර්කරුවන් නොමැති වීමෙන් අවලංගු කිරීමට සිදුවන්නේ නම් නිසි පුහුණුවක් ලබාගැනිමට ධාවන පථයක් නොමැතිව අපහසුතාවට පත්වී සිටින මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවත් අසීරුතාවට පත්වනු ඇතැයි බහුතරයකගේ අදහස වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 28 April 2017 09:36