April 26, 2024

දහම් පාසල් අවසාන විභාගය අර්බුදයක

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව බරපතළ අර්බුදයකට පත්ව ඇතැයි වාර්තා වේ.

අයැදුම්කරන්නන්ගෙන් සියයට 40 ක්‌ පමණම විභාගයට පෙනී නොසිටීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. 2014 වසරේදී අයෑදුම් කළ 88994 න් අයෑදුම්කරුවන් 35417 ක්‌ ම විභාගයට පෙනී සිට නැත. 2015 දී අයෑදුම්කරුවන් 88240 න් 34565 ක්‌ ම විභාගයට පෙනී සිට නැත. මෙවර ද 93136 දෙනෙක්‌ විභාගය සඳහා අයැදුම් කර ඇති අතර එම පිරිසෙන් ද විශාල කොටසක්‌ විභාගයට පෙනී නොසිටිනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. 

අයැදුම්කරුවන් මෙලෙස විභාගයට පෙනී නොසිටිය ද, එම සියලුම දෙනාට ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කළ යුතු වන අතර විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීම ද විභාග දෙපාර්තමේන්තුවේ වගකීමක්‌ වේ.

ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා විශාල වියදමක්‌ දැරීමට සිදුවන අතරම විභාගය පැවැත්වීම සඳහා ද සැලකිය යුතු වියදමක්‌ දැරිය යුතු වේ. මෙම තත්ත්වය යටතේ විභාගය පෙනී නොසිටින අයැදුම්කරුවන් වෙනුවෙන් ද අනවශ්‍ය වියදමක්‌ දැරීමට දෙපාර්තමේන්තුවට සිදුව ඇත. එහෙයින් මින් ඉදිරියට විභාගයට අයැදුම් කරන සියලුම අයැදුම්කරුවන් විභාගයට පෙනී සිටුවීමේ අනිවාර්ය වගකීම දහම් පාසල් ප්‍රධානීන් වෙත පැවරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 

මේ බව දැනටමත් දහම් පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ. අයැදුම්කරුවන් විභාගයට පෙනී සිටුවීමේ වගකීම භාරගෙන දහම් පාසල් ප්‍රධානීන් මින් ඉදිරියට විභාග දෙපාර්තමේන්තුව අපහසුතාවට පත් නොකරනු ඇතැයි විශ්වාස කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවසී ය.

Rate this item
(0 votes)