April 26, 2024

මහ ගලක් පුපුරවා 'වටවල' බේරා ගනී (ඡායාරූප සහිතයි)

හැටන් ඔයේ ජලය රිසි සේ ගලා යාමට බාධාවක් ව තිබූ විශාල ගලක් අද (27) පුපුරුවා හැර ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු ප්‍රකාශ කරයි.

මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංඟාවක්වන හැටන් සිට ගලා බසින හැටන් ඔයේ වටවල ඥාණානන්ද ගම අසල විශාල ගලක් එලෙස පුරුවා හැර තිබේ.

පසුගිය දිනවල මධ්‍යම කඳුකරයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග එම ඔය පිටාර ගැළීමෙන් වටවල ඥාණානන්ද ගම ඇතුළු වටවල ප්‍රදේශයේ පහත් බිම් ගණනාවක් ජලයෙන් යට වී අවස්ථා කීපයක දී පවුල් රැසක් අවතැන් විය.

අනතුරු ව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන මත එම ඔය පුළුල් කිරීමේ කටයුතු සිදු කළ අතර එසේ පුළුල් කිරීමේ දී ගඟ මැද පිහිටි මෙම විශාල ගල මතු ව තිබේ.

පසු ව එම ගල පුපුරුවා හැරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවීමත් සමග ම එම විශාල ගල පසු සම්පත් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩීපීජී කුමාරසිරි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ගල් බෝර දමා අද පෙරවරුවේ පුපුරුවා හරිනු ලැබී ය.

මෙම ගල පුපුරුවා හැරීමත් සමග ම හැටන් ඔය වටවල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවධානම පහ ව යන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩීපීජී කුමාරසිරි මහතා සඳහන් කළේ ය. 

මෙම ගල පුපුරුවා හැරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 15 ක් ලබා දී තිබිණ.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)