April 27, 2024

ලොව බරැතිම පුද්ගලයා ජීවන බරින් ගැලවේ

මිය යන විට හතළිස් අට වන වියේ පසුවූ මැනුවෙල්ගේ මරණයට නිශ්චිත හේතුවක් හෙළිවී නැති වුවද අධි බර හේතුවෙන් ඔහු හදවත් රෝගවලින් මෙන්ම අක්මාවත් සම්බන්ධ සංකූලතාවලින්ද පෙළෙමින් සිටියෙකි.

පසුගිය මැයි 2 දා ඔහු රෝහල්ගත කරනු ලැබුවේද අසාමාන්‍ය හෘද ස්පන්දන රිද්මයක් නිසාය. 

ටොන්ටෙරි නුවර පිහිටි සිය නිවසේ ඇඳට සීමා වූ ජීවිතයක් ගත කරමින් සිටි මැනුවෙල් නිවසින් බැහැරට ගියේද ඉතාම කලාතුරකිනි. 

රෝහල්ගත කිරීම සඳහා ඔහුව රැගෙන යාමටද සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ හා හදිසි සේවා නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ දැවැන්ත දොඹකරයක් අවශ්‍යව තිබිණි.

2006 වසරේදී කිලෝග්‍රෑම් පන්සිය හැටක උපරිම බරකට ළඟාවීමෙන් පසුව ලොව බරැතිම පුද්ගලයා ලෙස ගිනස් ‍පොතට ඇතුළු වූ මැනුවෙල් මිය යන කළ කිලෝග්‍රෑම් තුන්සිය අනූහතර දක්වා ඔහුගේ ශරීර බර අඩුව තිබිණි. 

ඇවිද ගැනීමට පවා නොහැකිව ඔහු වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කළ ඇඳකට කොටු වී දිවි ගෙවූ මැනුවෙල්ගේ සිරුර අවමංගල්‍යය ශාලාව වෙත ගෙන යන ලද්දේද එම ඇඳෙහිම සතපවාය.

දේහය ආදාහනය කිරීම සඳහා සාමාන්‍ය ඌෂ්ණත්වයට වඩා 60ක් වැඩි උණුසුමකින් යුතු උඳුනක් අවශ්‍යව තිබිණි.

2008 වසරේදී ක්ලෝඩියා සෝලිස් සමග විවාහවීම සඳහා දැඩි කැපවීමෙන් යුතුව මනා ආහාර පාලනයකින් හා ව්‍යායාම මගින් සිරුරේ බර රාත්තල් පන්සිය පනහකින් අඩු කර ගැනීමට මැනුවෙල් සමත් වුවද සිය මනාලිය සමග පිරිස අතරින් ඇවිද යාමේ සිහිනය සැබෑ කර ගැනීමට ඔහුට හැකි  වූයේ නැත. 

තමාගේම කියා නව පවුලක් ගොඩනැංවීම කෙරෙහි දැඩි බලා‍පොරොත්තු තබා සිටියද සිරුරේ බර යළිත් අසාමාන්‍ය ලෙස වැඩිවීමත් සමග ක්ලෝඩියා සමග පවුල් ජීවිතයක් ගත කිරීම තවදුරටත් අසීරු වූයේ අවසානයේදී විවාහය දික්කසාදයෙන් කෙළවර කරමිනි. 

එයද මැනුවෙල්ගේ දැඩි සිත් තැවුලට හේතුවක්ව තිබිණි.

කුඩා වියේදී පටන් සම වයසේ සෙසු දරුවන්ට වඩා මහත ශරීරයකට උරුමකම් කී මැනුවෙල් ‍යෞවුන් වියට එළැඹෙන කළ රාත්තල් දෙසිය පනහක ශරීර බරකට උරුමකම් කීය.

සාමාන්‍ය ආහාරපාන ලබා ගනිමින් අතිශයින්ම සාමාන්‍ය ජීවිතයක් ගත කළ මැනුවෙල්ගේ බර අසාමාන්‍ය ලෙස ඉහළයාමට පටන් ගන්නා ලද්දේ 1992 වසරේ සිටය. 

එහි ප්‍රතිඵලයක් ලෙස 2002 වසරේ සිට ඔහුට ඇඳෙන් බැස ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී තිබිණි. 

එදා සිට ඔහු මිය යන තෙක්ම ඔහුට කැවීම, පෙවීම, පිරිසිදු කිරීම ආදී සියලු කටයුතු කිරීමට සිදුව තිබුණේ ඔහුගේ දෙමාපියන්ට හා මිතුරන්ටයි.

Rate this item
(0 votes)