April 26, 2024

මහ දහවලේ නිවසක් බිඳ රන් බඩු උස්සලා

නිවසක් බිද රුපියල් 1,78,000ක් වටිනා මුදල් සහ රන් ආභරණ සොරා ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව දංකොටුව පොලීසිය පවසයි.

පසුගිය 21 වැනිදා දහවල් කාලයේ මෙම සොරකම සිදුවී ඇති  බවට විශ්වාස කළ හැකි යැයි පොලීසිය සඳහන් කරයි.

තමන් ඇතුළු පවුලේ අය අවශ්‍යතාවයක් සදහා නිවසින් පිටතට ගොස් 21 වැනිදා රාත්‍රී 8.40 ට පමණ ආපසු පැමිණි විට නිවසේ තිබූ බඩු බාහිරාදිය ඇද දමා ඇති බව දැක ඒ සම්බන්ධයෙන් සොයා බැලූ විට සොරකම සම්බන්ධ තොරතුරු අනාවරණය වූයේ යැයි දංකොටුව - මැටිකොටුව පදිංචි විජේසිංහ ආරච්චිලාගේ ෂෙල්ටන් විමලරත්න යන අය විසින් කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.

නිවස තුළ තිබූ මුදල් රුපියල් 50,000  ක්ද, රුපියල් 128,000 ක් වටිනා ස්වර්ණාභරණ ද සොරකම් කරන ලද දේපල අතර වන බව පැමිණිලිකරු පොලීසිය හමුවේ පවසා ඇත.

සැකකරුවන් සම්බන්ධ තොරතුරු අනාවරණය වී නැත. දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

පුත්තලම - ජුඩ් සමන්ත 

 

 

Rate this item
(0 votes)