April 26, 2024

තොන්ඩමන්ට එරෙහි වර්ජනය සඳුදා අවසන් 

ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ මහලේකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා විසින් ඉකුත් 13 වැනි දා කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ජනත් අබේගුණවර්ධන මහතාට බැණ වැදීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ති‍්‍රක් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් ආරම්භ කළ වැඩවර්ජනය 23 වැනි දා අවසන් කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික සිදත් විජේසිංහ මහතා පැවසී ය. 

අද (21) ඒ සම්බන්ධයෙන් සිය සංගමයේ පැවති විශේෂ සාකච්ඡාවක දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එම තීරණයට එළැඹි බවත් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තවදුරටත් වසා තැබීමට තීරණය කළ බවත් වාර්තා වේ.

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්ගේ ආරක්ෂාව රජය මගින් ලබාදෙන බවට වූ පොරොන්දුවක් මත හා ගැබිණි කාන්තාවන් හා මව්වරුන්ට පැන නැගී ඇති අසීරුතාවය හේතුවෙන් සිය සංගමය මෙම තීරණයට එළැඹි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

තොන්ඩමන් අමාත්‍යවරයා අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් සමාව ගන්නා ලෙසටත් ආරක්ෂාව තහවුරු කරන ලෙසටත් බල කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ තීරණයක් අනුව එම වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගය කි‍්‍රයාත්මක විය. 

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය 13 ක් කි‍්‍රයාත්මකවන අතර එහි වෛද්‍යවරු 20 දෙනෙක් පමණ සේවය කරයි.

තමන් ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ රැඳී සිටීමෙන් කොටගල ප‍්‍රදේශය හැර අනෙක් සියළුම වතු ආශ‍්‍රිත ප‍්‍රදේශවල ලබන 23 වන දා සිට සෞඛ්‍ය සායන පවත්වන බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ජනත් අබේගුණරත්න මහතා ප්‍රකාශ කළේ ය.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)