April 26, 2024

මධ්‍යම ආණ්ඩුකාරවරියට අස්ගිරි පාර්ශවයේ අකමැත්තක්? 

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය නිලූකා ඒකනායක මහත්මිය සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් ධීවර ඇමති මහින්ද අමරවීර හා සමාජ සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහත්වරුන්ට පැවසූ බව වාර්තා වේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මහින්ද අමරවිර හා එස්.බි දිසානායක අමාත්‍යවරු අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදි අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ. 

එස්.බි දිසානායක අමාත්‍යවරයා විසින් ඒ අවස්ථාවේදි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමිවරුන් සමග පෞද්ගලික සාකච්ඡාවක් සදහා මාධ්‍යවේදීන්ට ඉවත් වන්නැයි ඉල්ලීමක් කර තිබේ. මාධ්‍යවේදීන් පිටත් කර යැවීමෙන් පසුව වෙඬරුවේ උපාලි හිමියන් ඇමැතිවරුන්ට මේ බව පවසා ඇතැයි වාර්තාවේ. 

ආණ්ඩුකාරවරිය සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රශ්නයක් තමන්ට නැති බවත් දළඳා මාළිගාව හා අස්ගිරි මල්වතු මහ නායක හාමුදුරුවන් ඇතුළු සංඝයා සමග ද මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරියට වැඩ කිරීමට සිදුවන බැවින් ඒ සඳහා කාන්තාවක් පත් කිරීම නුසුදුදු බව සිතන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් සඳහන් කර ඇත.

සුදුසු කෙනකු ආණ්ඩුකාර පදවියට පත් කරන ලෙස අස්ගිරි සංඝරත්නය ඉල්ලා සිටි බවද වාර්තාවේ. 

ප්‍රධාන පක්ෂ එකතු වී රට පාලනය කරගෙන යෑම තුළ රටේ දියුණුවටත් සාමයටත් මහා මෙහෙයක් කළ හැකි බවත් ඒ සදහා අස්ගිරි පාර්ශවයේ සම්පූර්ණ ආශිර්වාදය ලැබෙන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරු සහ කාරක සංඝ සභාවේ හිමිවරු පැවැසුහ.

ජාතික වස්තුවක් වු මහනුවර ශ්‍රි දලදා මාලිගාවේ යම් යම් කටයුතුවලට පළාතේ ආණ්ඩුකාරවරියට සහභාගි වීමට ද සියලු දේවාල ආදී කටයුතු සදහාද ඇයට සහභාගි විමට සිදුවන බවත් අස්ගිරි හිමිවරුන් ප්‍රකාශ කර ඇත. කාන්තාවකට සහභාගි විය නොහැකි අවස්ථා ඇතිවන බවත් එහිදි අසරණ වන්නේ අන් කිසිවෙකු නොව වත්මන් ආණ්ඩුකාරවරිය බවත් ඒ හිමිවරුන් පවසති.

 

Rate this item
(1 Vote)