April 26, 2024

අතුරුදන් යානය සෙවීමට ශ්‍රී ලංකාවත් එයි

අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් කලාපය භාවිතා කිරීමට අවසර ලබාදුන් බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.

 

මෙම මෙහෙයුම් කටයුතු ප්‍රධාන ගුවන් මාර්ග කලාප දෙකක් ඉලක්ක කර ගනිමින් ආරම්භ කර ඇති බව මැලේසියානු රජය පවසා තිබේ.

මෙම ගුවන් යානයේ ගමන් මග හිතා මතාම වෙනස් කර ඇති බවත් ඉන් පසුව එය උතුරු ගමන් කලාපයට හෝ දකුණු ගමන් කලාපයට පියාසර කරන්නට ඇති බව මැලේසියානු බලධාරීහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කලාප දෙක ඇතුළත කෙරෙන පරීක්ෂණ සඳහා රටවල් 26 ක සහයෝගය ඉල්ලා තිබේ.

මේ වනවිට චීනය, අමෙරිකාව, ඉන්දියාව සහ මලයාසියාව ආදී රටවල් ගණනාවක් මෙම යානය සෙවීමේ සෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ.

යානය අතුරුදන්වීමට පෙර අවසන් කාලයේදී එම යානයේ සහායක නියමුවා ප්‍රධාන පාලක මැදිරිය ඇමතා “කිසිදු ගැටළුවක් නෑ ශුභ රාත්‍රියක් “ යනුවෙන් පැවසු බව මලයාසියානු  ගුවන් සමාගමේ ප්‍රධාන පාලක මැදිරිය සදහන් කර තිබේ. 

පසුගිය 08 වැනි දා අතුරුදහන් වූ මෙම ගුවන්යානයේ නියමු ෂහාරි අහමද් ෂාහ්ගේ නිවසේ තිබී සොයාගන්නා ලද ගුවන් සිමියුලේටරයේ මෘදුකාංගයකින් ශ්‍රී ලංකාවේ ගුවන් පථයක්ද අධ්‍යයනය කර ඇති බව අනාවරණය වී තිබේ. 

ඒ අනුව මෙම ගුවන් යානා පුහුණු මෘදුකාංගය මගින් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ගුවන් පථ පිළිබඳ අධ්‍යයනයක නිරත වී ඇති බව මේවන විට හෙළිවී තිබේ.

ඒ අනුව ඉන්දියා-ශ්‍රී ලංකා ගුවන් හා මුහුදු සීමාවන්වල මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත. 

අතුරුදන්වු මලයාසියානු ගුවන් යානය රේඩාර් පද්ධතියට හසු නොවන සේ පහළින් ගමන් කරවා ඇති බවද මලයාසියානු බලධාරිහු පවසති.

එම යානය අතුරුදන්වී පැය 8ක් තුළ එහි වේගය අනුව රටවල් 3ක රේඩාර් පද්ධතිවලට එම යානය හසුවිය යුතුව තිබු නමුත් ඒවාට හසු නොවී ඇත්තේ උපක්‍රමශීලිව මෙම යානය පහළින් ධාවනය කර ඇති නිසා බව වාර්තා වෙයි.

පසුගිය 08 වැනි දා මලයාසියාවේ, ක්වාලාලාම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබියදී බෝයිං 777 වර්ගයේ එම්.එච්. 370 නැමැති යානය අතුරුදන් වී තිබිණි.

අද වන විට මෙම යානය අතුරුදන් වී දින 10ක් ගතව තිබුණද මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

Rate this item
(0 votes)