April 26, 2024

මන්ත්‍රී ඝාතනය ගැන 20කගෙන් ප්‍රශ්ණ කරයි

පෑලියගොඩ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ශාමිල සඳරුවන් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයින් 20දෙනෙකුගෙන් ප්‍රශ්ණ කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

මන්ත්‍රීවරයා පසුගිය 12 වැනි දා නුවර පාරේ ටයර් හන්දිය අසලදී නාඳුනන අයකු විසින් එල්ල කරන ලද වෙඩි පහරකින් ඔහු ගමන් ගත් මෝටර් රථයේදීම ජීවිතක්ෂයට පත්විය.

හිතවතකු සමඟ ඇතිවූ පෞද්ගලික ආරවුලක් පිළිබඳ මහර අධිකරණයේ පැවැති නඩු විභාගයකට ගොස් කැලණිය පොල්හේන පිහිටි ඔහුගේ නිවෙසට පැමිණෙමින් සිටියදී ඔහු මේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අතර ඔහු සමඟ රථයේ සිටි තවත් අයෙකු ද එහිදී තුවාල ලැබීය. එම තුවාල ලැබූ පුද්ගලයා මේවන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මන්ත්‍රීවරයාගේ ඝාතකයින් හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බවත් පොලීසිය පවසයිත.

එසේම ඝාතනය සිදු කිරීමට යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා අදාළ මාර්ගයේ පිහිටි නිවෙස් සහ කඩ සාප්පුවල සවි කර ඇති සී.සී.ටී.වී කැමරා පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඝාතනය සිදුවීමට පෙර නාගරික මන්ත‍්‍රීවරයා ගමන්ගත් මෝටර් රථය අසලින් පැමිණි යතුරුපැදියක් එහි ගැටීමට සලස්වා ඇති අතර පසුව මෝටර් රථය නැවතීමට උත්සහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලීසිය පවසයි.  

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 May 2014 11:32