March 29, 2024

ඇන්ඩ්‍රොයිඩ් ටැබ් උපාංගයක් බවට වැඩිදියුණු වූ ඊ-බුක් රීඩරයක් යතාර්ථයක් වනු ඇතිද?

වර්තමානයේදී ටැබ්ලට් උපාංගයන් ලෝකයේ බොහෝ දෙනෙකු අතර අතිජනප්‍රිය වුවත්, ටැබ්ලට් උපාංගයකින් සාර්ථකව කළ නොහැකි එක් දෙයක් තිබේ. එනම් පොතක් හෝ ලේඛනයක් හෝ වෙනයම් අකුරු කියැවීමේදී ඇසට පහසුවක් ලබාදීමයි. ඇන්ඩ්‍රොයිඩ් හෝ වෙනත් ටැබ්ලට් උපාංගයන් සඳහා ඊ-බුක් කියැවීමේ යෙදුම් කොතෙකුත් තිබුණත්, සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් ඔස්සේ පොත් කියැවීම කිසිසේත්ම සාර්ථක හෝ ප්‍රචලිත නොවීමට මූලික හේතුව එයයි. මෙයට විසඳුම වන්නේ E-ink තිරයයි. මෙම E-ink තිරය මුද්‍රිත කඩදාසියක් මෙන්ම වන අතර, සාමාන්‍යය තිරයක දක්නට ලැබෙනා දිලිසීමද මෙහි කිසිසේත්ම දක්නට නැත. මෙනිසා කින්ඩ්ල් උපාංග ඇතුළු ඊ-බුක් රීඩරයන්හි දක්නට ලැබෙන්නේ මෙම තිරයයි. 

කෙසේ වෙතත් ස්මාට්ෆෝන්, ටැබ්ලට් යනාදී උපාංගයන්හි සාමාන්‍යයෙන් යෙදෙනා තිර පැනලයන් පරිණාමය වූ ආකාරයට ශීඝ්‍ර තාක්ෂණික දියුණුවක් තවමත් E-ink තිර පැනලයන් ලබා නොමැති බවද කිව යුතුවේ. උදාහරණ ලෙසින් දක්වන්නේ නම් තවමත් E-ink තිරයක් ඔස්සේ ඔබට වීඩියෝ නැරඹීමට හෝ වෙනත් වේගයෙන් චලනය වන අන්තර්ගතයන් නැරඹීමට හැකියාවක් නොමැත. එසේම E-ink තිරයක් ඔස්සේ කළු-සුදු අන්තර්ගතයන් මිස වර්ණයන් නැරඹිය නොහැක. එය එසේ වුවත්, තවමත් කඩදාසියකට සමාන, ඇසට පහසු තිරයක කියැවීමට, ඇඳීමට හෝ ලිවීමට අවශ්‍ය වන්නේ නම්, E-ink තිර පැනලයන් වැනි තිරයක් තවත් නොමැති බවද කිව යුතුවේ.

හඳුන්වා දෙන Eewrite E-Pad උපාංගය සම්බන්ධයෙන් කතාබහ ඇතිවිය යුත්තේ එතැනින් වේ. මෙය සරලවම හඳුන්වා දිය හැක්කේ E-ink තිරයක් සහිත ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් උපාංගයක් ලෙසිනි.
කින්ඩ්ල් වැනි E-ink තිර සහිත උපාංගයන් භාවිතා කරනා පරිශීලකයින් අත්විඳිනා තවත් ජනප්‍රිය වාසියක් තිබේ. එනම් E-ink තිරයක් බලය පරිභෝජනය කරන්නේ ඉතාමත්ම සීමිතව වීමයි. ඔබගේ සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ටැබ් උපාංගය දිනකට වරක් හෝ දින දෙකකට වරක් ආරෝපණය කිරීම අනිවාර්‍ය වනවිට, කින්ඩ්ල් පේපර්වයිට් 2 වැනි උපාංගයක් එක් ආරෝපණයකින් සති ගණනාවක් එක් දිගට භාවිතා කිරීමට හැකි වීම ඔස්සේ මෙම ගුණය මනාව දැකගත හැක. මේ ලෙසින්ම හඳුන්වා දෙන E-ink තිරයක් සහිත Eewrite E-Pad ඇන්ඩ්‍රොයිඩ් ටැබ් උපාංගය සම්බන්ධයෙන්ද කිව යුත්තේ මෙය එක් ආරෝපණයකින් සම්පූර්ණ සතියක් පමණ භාවිතා කිරීමට හැකියාව ඇති බවයි.

බැලූ බැල්මට සිහින් හැඩයකින් හා නිමාවකින් යුතු නවීන ටැබ්ලට් උපාංගයක් ලෙසින් පෙනී ගියත්, මෙහි ඇති E-ink තිරය නිසා සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් භාවිතා කරනා කරුණු සඳහා මෙය භාවිතා කිරීමට පරිශීලකයාට නොහැකි වනු ඇත. එනම් වීඩියෝ අන්තර්ගතයන් නැරඹීම, වීඩියෝ ක්‍රීඩා කිරීම හෝ වර්ණ අන්තර්ගතයන් නැරඹීම මෙහිදී කළ නොහැක්කේ, මෙය gray scale තිරයක් වීම නිසාත්, ඉතා අඩු refresh rate එකක් තිබීම නිසාත් වේ. අනෙක් අතට මෙය ටැබ්ලට් උපාංගයන්ට ආදේශකයක් ලෙසින් නිර්මාණය වී නොමැති අතර, ඊට වඩා ඊ-බුක් රීඩරයක වඩාත් වැඩිදියුණු වීමක් ලෙසින් සැලකීමට හැක.

මෙය අඟල් 10.3 ක තිරයකින් සමන්විත, 1872 x 1404 තිර විභේදනයක් සහිත ටැබ්ලට් උපාංගයක් වේ. එසේම මෙය කියැවීම සඳහා පමණක් නොව ලිවීම සහ ඇඳීම සඳහාද භාවිතා කළ හැකි අතර, නිෂ්පාදකයින්ට අනුව පරිශීලකයාට මේ ඔස්සේ සැබෑම කඩදාසියක ලියන හෝ අඳින ආකාරයේ අත්දැකීමක් ලබාදීමට මෙය සමත් වනු ඇත. එසේම සාමාන්‍ය ඊ-බුක් රීඩරයක් සේම ඔබට පොත්, සඟරා, පුවත්පත්, ග්‍රැෆික් නවකතා, ලිපි ලේඛන ආදිය මේ ඔස්සේ පහසුවෙන්ම කියවීමට හැක. රාත්‍රියේදී හෝ අඩු ආලෝක තත්ත්වයන් යටතේ කියැවීම් කටයුතු කිරීම හෝ ලිවීම හෝ ඇඳීමද ගැටලුවක් නොවන්නේ, මෙය LED ඔස්සේ ආලෝකමත් වන බැවිනි. මෙහි ලිවීම හෝ ඇඳීම සඳහා ස්ටයිලස් උපාංගයක් භාවිතා කළද, ඔබේ ඇඟිල්ල භාවිතා කළද ඔබට කිසිදු වෙනසක් නොදැනෙන අතර, ඔබේ අකුරු හෝ රේඛාවන් ටැබ්ලට් තිරය මත මෘදු ලෙසින් ගලායනු ඔබට අත්විඳීමට හැකිවනු ඇත. මේ සඳහා මෙම උපාංගය වෙනුවෙන් යොදාගෙන ඇති නවීනතම E-Ink Mobius Carta තිර පැනලය හේතු වී ඇත.

සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් ලෙසින්ම මෙහි ස්ථාපනය වූ ස්පීකරයක්ද තිබෙනා අතර, ඔබට මේ ඔස්සේ වීඩියෝ නැරඹීම හෝ වීඩියෝ ක්‍රීඩා කිරීමට නොහැකි වුවත්, ඔබ වැඩකටයුතු කරන අතරේ සංගීතයට හෝ පොඩ්කාස්ට්වලට හෝ ඕඩියෝ පොත්වලට සවන් දීම ගැටලුවක් නොවනු ඇත. මෙහි Wi-Fi සම්බන්ධතාවය මෙන්ම 4G සම්බන්ධතාවයද තිබෙනා අතර, සිම් කාඩ්පතක් ඇතුළත් කොට 4G සම්බන්ධතාවය අත්විඳීමට ඉඩ ලැබෙනු ඇත. මීට අමතරව මෙහි Bluetooth රැහැන් රහිත සම්බන්ධතා හැකියාවද තිබෙනා බැවින්, අවශ්‍ය නම් ඔබේ ලිවීමේ කටයුතු සඳහා බාහිර යතුරු පුවරුවක් මෙයට සම්බන්ධ කිරීමට හෝ ශ්‍රව්‍ය අන්තර්ගතයන්ට සවන් දීම සඳහා රැහැන් රහිත හෙඩ්ෆෝන් යුවළක් සම්බන්ධ කිරීමට හෝ වෙනත් අවශ්‍ය රැහැන් රහිත උපාංග මෙයට ඇඳීමට හැකියාව පරිශීලකයින්ට ලැබෙනු ඇත.

නිෂ්පාදකයින් විසින් ප්‍රකාශ කරන ආකාරයට මෙය 10-Core ප්‍රොසෙසරයකින් බලගැන්වෙනු ඇති අතර, ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියක් ඔස්සේ ධාවනය වනු ඇත. මෙහි 4100mAh ප්‍රමාණයේ බැටරියක්ද අන්තර්ගත වනු ඇති අතර, එක් ආරෝපණයකින් පුරා සතියක් පමණ Eewrite E-Pad ටැබ් උපාංගය ක්‍රියාත්මක කිරීමට ඊට හැකියාව තිබෙනු ඇත. මෙහි 2GB රැම් මතකයක් සහ 32GB අභ්‍යන්තර මතකයක්ද අන්තර්ගත වනු ඇතැයි අසන්නට ලැබේ.

මෙම Eewrite E-Pad උපාංගය සමගින් ස්ටයිලස් උපාංගයක්ද ලබාදීමට නිෂ්පාදකයින් බලාපොරොත්තු වන අතර, එම ස්ටයිලස් උපාංගය බැටරි රහිතව ක්‍රියාත්මක වනු ඇත. එසේම එය මට්ටම් 4,096 ක පීඩන සංවේදීතාවයකින් ක්‍රියාත්මක වනු ඇති අතර, එහි ERM තාක්ෂණයද අන්තර්ගත වනු ඇත. මෙම ස්ටයිලස් උපාංගයේ අනෙක් කෙළවර මකනයක් ලෙසින් ක්‍රියාත්මක වනු ඇති අතර, ඒ ඔස්සේ ඔබ E-ink තිරයේ අඳිනා හෝ ලියනා දෑ මකා දැමීමට හැකියාව ලැබෙනු ඇත.

මේ වනවිට Eewrite E-Pad උපාංගය වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීම උදෙසා අනුග්‍රාහකයින් ඔස්සේ මුදල් එක් රැස් කරමින් සිටී.

(ada.lk)

Rate this item
(0 votes)