January 25, 2021

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් තරගය පසුගිය 16 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීය.

එහිදී ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රථම කුසලානය සඳහා තරඟ වැදුණේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතරයි.

මෙම තරඟාවලිය තුළ බොහෝ දෙනාගේ අවධානය යොමු වී අවස්ථාවක් ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සුපිරි පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ දැවී යාම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි උණුසුම් කතාබහක් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ලෝලීන් අතර දැකගත හැකි විය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් හී නිල ෆේස්බුක් පිටුවේ ධනුෂ්කගේ දැවී යාම දැක්වෙන ඡායාරූපය පළ කරමින් සටහන් කර තිබුණේ 'තරඟයේ හැරවුම් ලක්ෂය' යනුවෙනි. බොහෝ ක්‍රිකට් ලෝලීන් පිරිසක් විවිධ අදහස් පළ කර තිබුණී. 

(Sri Lanka Cricket හී පළ වී තිබූ ඡායාරූපය)

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ ධනුෂ්ක ගුණතිලකව දුවද්දී දැවී යාමකට හසු කරගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වූ අතර එහිදී එම දැවී යාම සිදු වු ආකාරය ගැන බොහෝ දෙනාගේ අප්‍රසාදය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙත එල්ල වී තිබුණි.

මෙම දවා ගැනීම සිදු වුයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ 02 වෙනි පන්දුවාරය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ය.

පන්දුවට පහර දෙමින් සිටි ධනුෂ්ක ගුණතිලකගේ පාදයේ වැදෙන පන්දුවක් කඩුල්ල මුවා කිරීමේ වරද වෙනුවෙන් සුරංග ලක්මාල් ඉල්ලීමක් කරන අවස්ථාවේ එම පන්දුවට ඉක්මණ් ලකුණක් ලබා ගැනීමට ගිය ධනුෂ්ක ගුණතිලක සුරංග ලක්මාල්ගේ ඇඟේ ගැටෙන අතර ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඒ අවස්ථාවේම ධනුෂ්කව දුවද්දී දැවී යාමටකට හසුකර ගැනීමට සමත් විය.

බොහෝ ක්‍රීඩා ලෝලීන් මෙම සිදුවීම මහත්වරුන්ගේ ක්‍රීඩාවට උචිත නොවන බව ප්‍රකාශ කර සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ කර තිබුණි. 

මෙම දවා ගැනීම ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ තිසර පෙරේරා විසින් සිදු කළ අතර බොහෝ ක්‍රීඩා ලෝලීන් ප්‍රකාශ කර තිබුණේ එය මහත්වරුන්ගේ ක්‍රීඩාවට උචිත නොවන බවයි.

ධනුෂ්කගේ දැවී යාම ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවත උදුරා ගත් බවට ප්‍රේක්ෂයන් විසින් අදහස් පළ කර ඇති අතර එම දැවී යාම වන අවස්ථාවේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ කලමණාකාරීත්වය පවා සතුටු වන ආකාරය දැක ගත හැකි විය.

මෙහිදී ක්‍රිකට් ලෝලීන් විසින් 2009 වසරේ දී ICC ශූරතා කුසලානය අවස්ථාවේ ඇන්ජෙලෝ මැතිව්ස් මෙවන් අවස්ථාවකට මුහුණ දුන් සිදුවීමත් ගෙන හැර දක්වා තිබුණි.

2009 වසරේ දී ICC ශූරතා කුසලානය අවස්ථාවේ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දැවී යාම සහ එංගලන්ත ක්‍රිකට් නායකයාගේ ප්‍රතිචාරය

2009 වසරේ දී පැවැති අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශූරතා කුසලාන තරඟාවලිය අවස්ථාවේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ දී පන්දුවට පහර දෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ඉක්මණ් ලකුණු 02ක් ලබා ගැනීම සඳහා පැති හවුමාරු කර ගැනීමට උත්සාහ කිරීමේදී පන්දු යවමින් ක්‍රීඩක ග්‍රැහැම් ඔනියන්ස්ගේ ඇඟ ගැටෙන අතර ඒ සැණින් මැතිව්ස්ව දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමට එංගලන්ත කණ්ඩායම කටයුතු කළේය.

නමුත් එම දවා ගැනීම ඉවත දැමූ එකළ එංගලන්ත ක්‍රිකට් නායකයා වන ඇන්ඩෲ ස්ට්‍රෝස් විසින් ඇන්ජලෝ මැතිව්ස් ව නැවත ක්‍රීඩා පිටියට කැඳ වීමට තීරණය කළේය.

ධනුෂ්ක ගුණතිකලකගේ දැවී යාමත් මෙම සිදුවීමට සමාන බව පවසමින් බොහෝ ක්‍රිකට් ලෝලීන් විසින් තිසර සහ සුරංග ලක්මාල් එවන් සිදුවීමක් නොකළ යුතු බවට ප්‍රකාශ කර තිබුණි.

ක්‍රිකට් ඉතිහාසය පුරාවට මෙවන් දවා ගැනීම් බොහෝ ප්‍රමාණයක් සිදුව ඇති බව මුලාශ්‍රයන්වල වාර්තා වන අතර මෙහි අවසාන තීරණය බොහෝ අවස්ථාවල පන්දු රකින කණ්ඩායමේ නායකයා සතුව ඇත.

පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සිය ක්‍රිකට් තරඟ ජීවිතයට සමුදීමට තීරණය කර තිබේ.

පාකිස්ථාන රූපවාහිනී නාලිකාවක් වන 'Samaa' සමඟ පැවැති සාකච්ඡාවකදී මොහොමඩ් අමීර් විසින් මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ලෝකයාට අනාවරණය කළේ ඊයේ (16) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අවසන්ව නැවත පාකිස්ථානය බලා පිටත්ව යාමට දින කිහිපයක් ඉතිරිව තිබියදීම වීමද විශේෂත්වයකි.

එම සාකච්ඡාවේදී මොහොමඩ් අමීර් ප්‍රකාශ කර සිටියේ 'තමන්ට වත්මන් පාකිස්ථාන ක්‍රිකට් පරිපාලනය' සමඟ වැඩ කිරීමට නොහැකි බවත්, තමන්ට 'ඔවුන් දැඩි ලෙස මානසිකව වද' දුන් බවත්ය.

මෙන්ම අමීර් විසින් පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායකවරයාට පවසා ඇත්තේ තමාට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ කිසිදු අභිලාෂයක් හෝ අභිප්‍රායක් නොමැති බවත්, එබැවින් ඔහුව අනාගත ජාත්‍යන්තර තරග සඳහා සලකා බැලිය යුතු නැති බවත් ය.

පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් අමීර්ගේ තීරණය පිළිගෙන ඇති බව සඳහන් වෙයි.  ඔවුන් ප්‍රකාශ කර තිබුණේ එය අමීර්ගේ පෞද්ගලික තීරණයක් බැවින් එයට ගරු කරන බවයි.

මොහොමඩ් අමීර් තවමත් 28 වැනි වියේ පසුවන අතර 2009 වසරේදී එංගලන්තයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත්තේය.

වමත් වේග පන්දු යවන්නෙකු වන මොහොමඩ් අමීර් ජාත්‍යන්තර තරඟවලදී කඩුළු 259ක් දවා ගෙන තිබුණී.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ මොහොමඩ් අමීර් එහිදී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළේය.

අමීර් ජාත්‍යන්තර තරඟවලින් සමුගන්නා බවට කළ සාකච්ඡාවේ වීඩියෝව පහතින්,

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සති ගණනක් පුරාවට පැවැත් වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රථම ශූරතාවය දිනාගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

ඒ ඊයේ (16) දිනයේදී පැවැති අවසන් තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත් කරමිනි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 188ක් රැස් කර ගැනීමට සමත් විය.

එහිදී ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ශොයිබ් මලික් ලකුණු 43(35)ක්ද, තිසර පෙරේරා 39(14)ක්ද, ධනංජය ද සිල්වා 30(20)ක්ද රැස් කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ධනංජය ලක්ෂාන් කඩුළු 3ක්ද, මොහොමඩ් අමීර් සහ සහන් ආරච්චිගේ 1ක් කඩුල්ල බැගින්ද දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ මුල් පෙළ කඩුළු ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අතර ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 135ක් පමණි.

එහිදී ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 40(17)ක්ද, අසාම් ඛාන් 36(17)ක්ද, සහන් ආරච්චිගේ 17(18)ක්ද ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ශොයිබ් මලික් සහ උස්මන් ශින්වාරි කඩුළු 2 බැගින්ද, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග 1ක් කඩුල්ල බැගින්ද දවා ගත්තේය.

තරගයේ වීරයා ලෙස ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ශොයිබ් මලික් තේරීපත් විය.

තරඟාවලිය පුරාවට දැක් වූ දස්කම් වෙනුවෙන් තරඟාවලියේ ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග තේරී පත් වෙද්දී, තරඟාවලියේ නැගී එන ක්‍රීඩකයා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නවක ක්‍රීඩක ධනංජය ලක්ෂාන් තේරීපත් විය.

අවසාන තරඟය නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, එම ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් හී විධායක නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියේය.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට පාකිස්ථානයේ සිට පැමිණි අසාම් ඛාන් හට ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ගිනුමට මෙරට ප්‍රේක්ෂකයන් කිහිප දෙදෙනෙකු අපහාසාත්මක පණිවිඩ යවා තිබේ.

හිටපු පාකිස්ථාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ කඩුළු රකින ක්‍රීඩකයෙකු වන මොයින් ඛාන්ගේ පුත්‍රයා ද වන අසාම් ඛාන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩකයා ලෙසද කටයුතු කළේය.

මොයින් ඛාන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන්ද කටයුතු කරනු ලබයි.

අසාම් ඛාන් ඉනිම් කිහිපයක අසාර්ථක වූවත් තවත් අවස්ථාවක ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ කටයුතු කළේය.

අසාම් ඛාන් හට මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙකු විසින් "මේ රටට ආවේ ඇයි? ක්‍රිකට් නොගහා තමන්ගේ රටට ගිහින් වැඩක් බලාගෙන ඉන්න" , "ඔබ මොනවද මෙහෙ කරන්නේ? තාත්තාගේ පුංචි හුරතල් බලු පැටියා.." වැනි අපහාසාත්මක ප්‍රේක්ෂකයන් විසින් සිදු කර තිබුණි.

එම ප්‍රකාශයන්ගේ ඡායාරූප කිහිපයක් ද අසාම් ඛාන්ගේ ට්විටර් ගිනුමේ ඔහු විසින්ම පළ කර තිබුණු අතර ඔහු එයට පිළිතුරු ලෙස සඳහන් කර තිබුණේ "මේ තමයි මම පැමිණීමට හේතුව වුණේ, ග්ලැඩියේටර්ස්ලා අවසානයට පැමිණියේ" යැයි සඳහන් කර තිබුණි.

දෙස් විදෙස් ක්‍රිකට් ලෝලීන්ගේ බොහෝ ප්‍රමාණයක් මෙම ප්‍රකාශයන්ට තමන්ගේ කණගාටුවද ප්‍රකාශ කර තිබුණි.

එම අසාම් ඛාන් විසින් ට්විටර් සටහන පහතින්,

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (14) දී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයේ ජයග්‍රහණය ලැබීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

ඒ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම ලකුණු 37කින් පරාජයට පත් කිරීමෙන් අනතුරුවයි.

ඉතාමත් උණුසුම් තරගයක් පළමු ඉනිමේදී සිටම ක්‍රියාත්මක වූ අතර කණ්ඩායම දෙකම ඉතාමත් දක්ෂ ලෙස පන්දු යැවීමේ සහ කඩුළු රැකිමේ නිරතව සිටි ආකාරය දැක ගැනීමට හැකි විය.

පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 165ක් රැස් කරගැනීමට සමත් විය.

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ජොනතන් චාර්ල්ස් පන්දු 56කදී ලකුණු 76ක් රැස් කරගත්තේ 04 පහර 10ක් සහ එක් 06 පහරක් සමඟිනි.

පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර කඩුළු 2ක් දවා ගැනීමට සමත්විය.

පන්දු රැකීම සහ පන්දු යැවීමෙන් ඉහළ දස්කම් දැක්වූ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම පන්දුවට පහර දීමේදී තරමක් අසීරුතාවයකට ලක් වුයේ මුල් පෙළ කඩුළු කිහිපයක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමත් සමඟයි.

ඒ අනුව දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

එම කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග පන්දු 39කදී ලකුණු 33ක් රැස් කරගත්තේ 04 පහර 5ක්ද සමඟිනි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 4ක් තුළ එක් නිලකුණු පන්දුවාරයක් සමඟ ලකුණු 15කට කඩුළු 3ක් බිඳ හෙලීමට සමත්විය.

එළැඹෙන 16 වෙනිදා ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් තරගය ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රථමවරට පැවැත්වූ ලංකා ප්‍රිමියර් ලීග් T20 තරඟාවලියේ පළමු අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ (13) දිනයේදී සමත් විය.

ඒ කොලම්බු කිංග්ස් කණ්ඩායම සමඟ පැවැති අවසන් පුර්ව තරඟයේ දී කඩුළු 02ක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමිනි.

තරඟාවලියේ මුලික තරඟ පුරාවට දැඩි ලෙස ආසාර්ථක වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් තරඟ කිහිපය තුළ කැපී පෙනෙන දක්ෂතාවයක් දක්වන්නට සමත්විය.

ඊයේ පැවැති තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කලොම්බු කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 09ක් දැවී ලකුණු 150ක් රැස් කර ගැනීමට සමත් විය.

මෙහිදී එම කණ්ඩායමේ ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායමට එරෙහිව සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රථම ශතකයට හිමිකම් කියන ලොරි එවන්ස් ක්‍රීඩා නොකිරීම විශේෂත්වයකි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවා 19යි පන්දු 05ක් අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 151ක් ලබා ගනිමින් තරඟයේ ජයග්‍රහණය තමන් සතු කරගත්තේ කලොම්බු කිංග්ස් කණ්ඩායමේ ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනා ගැනීමේ සිහිනය උදුරා ගනිමිනි.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පුවත් මවන තැනක් බවට නැවත පත් වී තිබේ.

කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවාව එම ධූරයෙන් ඉවත් කිරීමත් සමඟයි.

කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළ දකුණු ආප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස්ව එම තනතුරෙන් ඉවත් කිරීමට කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ කලමණාකාරීත්වය කටයුතු කර තිබේ.

එයට හේතුව වී ඇත්තේ එම කණ්ඩායම නියෝජනය කරන විදෙස් රටකින් පැමිණි සුපිරි තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමඟ ආරවුලක් ඇති කර ගැනීම බව වාර්තා වෙයි.

විස්තර විචාරකයෙකු ලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක් වූ හර්ෂල් ගිබ්ස් පසුව දෙව් වයිට්මෝර්ගේ නොපැමිණීම නිසා හිස් වූ කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ පුරප්පාඩුව සඳහා පත් කරනු ලැබීය.

මේ වන විට කණ්ඩායමේ පුහුණුකාරීත්වය සඳහා මෙරට සුපිරි දඟ පන්දු යවන්නෙකු වූ සහ කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කළ රංගන හේරත්ව පත් කර ඇති බවටද සඳහන් වෙයි. 

මේ දිනවල ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීම සදහා වරාය අධිකාරිය සතු මුදල් රුපියල් මිලියන 524 ලබා දී තිබෙන බව හෙළිදරව් වේ.

මෙම හෙලිදරව්ව කරන ලද්දේ සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා වරාය අමාත්‍යාංශ අයවැය විවාද වැය ශීර්ෂයට එක්වෙමිනි.

වරාය අභිමතාර්ථයන්ගෙන් තොර කාරණයක් සඳහා වරාය මුදල් පාවිච්චි කොට ඇති බවද අත්තනායක මහතා එහිදී පෙන්වා දෙන ලදී.

සුරියවැව ක්‍රීඩාංගන ඉදි කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමක් බව පෙන්වා දෙන අත්තනායක මහතා එම ක්‍රීඩාංගනය සඳහා ආයෝජනය කළ වරාය අධිකාරිය සතු මුදල ආපසු ලබා ගන්නේ කෙසේදැයි කොතැනකවත් සඳහන්ව නැති බවද පෙන්වා දෙයි.

වරාය සම්බන්ධයෙන් වූ ප්‍රගති වාර්තාවේ හෝ වරාය අධිකාරිය සතු මෙම රුපියල් මිලියන 524 අය කර ගන්නේ කෙගන්නේ කෙසේදැයි සඳහන්ව නැති බවද මන්ත්‍රීවරයා අනාවරණය කරයි

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩි නැවත හදිසියේම සිය රට බලා පිටත්ව ගොස් තිබේ.

ට්විටර් සටහනක් තබමින් ශයිඩ් පවසා තිබුණේ නොවැළැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් නැවත තම නිවස බලා පිටවත්ව යන බවයි. එම හදිසි තත්ත්වය පාලනය වූ පසුව ඉක්මණින් නැවත එන බවද අෆ්රිඩි පවසා තිබේ.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මේ වන විට ලංකා ප්‍රීමියර් ලීග් තුළ ක්‍රීඩා කළ සියලු තරඟ පරාජයට පත් වීම නිසා ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් විසින් තරඟ පරදිනවාට බයේ අෆ්රිඩි නැවත සිය රට බලා යන බවට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ අදහස් ප්‍රකාශ කරමින් පවසා තිබේ.

කෙසේ වෙතත් අෆ්රිඩි සිය රටට බලා යෑමට හේතුව ලෙස ඔහුගේ දියණියක් වන අස්මාරා අෆ්රිඩිගේ අසනීප තත්ත්වය හේතුවන්නට ඇති බව වාර්තා වෙයි. 

අස්මාරා අෆ්රිඩි පිළිකාවක් හේතුවෙන් පීඩා විඳි බවට මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණී.

ශයිඩ් නැවත සිය රටට බලා ගොස් පැමිණියත් මෙරට පවතින නිරෝධායන නීතිය යටතේ ඔහුට නැවතත් නිරෝධායනය වීමට සිදුවනු ඇති අතර එම හේතුන් සහ ඔහුගේ හදිසි තත්ත්වය මත නැවත මෙම තරඟාවලියට ඔහු එක්වීම අවිනිශ්චිත වනු ඇත.

ඔහුගේ අඩුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දැඩිව දැනෙනු ඇති බවද සමහර ප්‍රේක්ෂකයන් විසින් පවසා තිබේ.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වී තිබේ. 

ඒ ඔවුන් සහභාගී වූ සියලුම තරඟ ජයග්‍රහණය කිරීමත් සමඟයි. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 06ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටීමටද ඔවුන් සමත්ව සිටියි.

දෙවන ස්ථානය කොළොම්බු කිංග්ස් කණ්ඩායම සමත්ව සිටින අතර ඔවුන් සහභාගී වූ තරඟ 03න් 02ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 04ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටියි.

තෙවන ස්ථානය දඹුල්ල වයිකිංග්ස් සහ සිව්වන ස්ථානය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමටද හිමිව තිබේ.

මෙවර තරගයේ ඉහළම පහසුකම් සහ ඉහළම අනුග්‍රහකත්වය ලබාගෙන සිටින දකුණු පළාත නියෝජනය කරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරඟාවලියේ අවසන් ස්ථානයේ රැඳී සිටින්නේ සහභාගී වූ සියලුම තරඟ පරාජයට පත් වීම හේතුවෙනි.

Page 1 of 3