April 20, 2024

සිඩ්නි පිටිය සූදානම්: කාසියේ වාසිය දසුන්ට

February 11, 2022

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගය තවත් විනාඩි කිහිපයකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සිඩ්නි ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 1.40ට යි.

මෙම තරගාවලිය තරග 05කින් සමන්විත යි.

මීට සුළු මොහොතකට පෙර උරගා බැලූ කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින්.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියානු කාලගුණ අංශ අනාවැකි පළ කොට ඇත්තේ අද තරගයට ඇතැම්විට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල විය හැකි බවට යි.

දෙරට අතර ඔස්ට්‍රේලියානු භූමියේ පවත්වා ඇති විස්සයි 20 තරග ගණන 09ක්.

ඉන් තරග 05කම ජය වාර්තා කරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව යි.

ඔස්ට්‍රේලියාව සිය මව්බිමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ජයගෙන ඇත්තේ විස්සයි 20 තරග 04ක් පමණක් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ ඔස්ට්‍රේලියා කණ්ඩායම මේවන විට ප්‍රබල ස්ථානයක රැඳී සිටින අතර පසුගිය වසරේ පැවැති පන්දුවාර 20 ලෝක කුසලානය ද ජය ගත්තේ ඔවුන් විසින්.

නමුත් පන්දුවාර 20 ICC ‍ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔස්ට්‍රේලියාවට ලැබී ඇත්තේ 06 වැනි ස්ථානය යි.

සහභාගී වූ තරග 40ක් සැළකිල්ලට ගෙන ඔස්ට්‍රේලියාවට එම ස්ථානය ලැබී ඇති අතර ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 08 වැනි ස්ථානයේ යි රැඳී සිටින්නේ.

සහභාගී වූ තරග 30ක් සැළකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට එම තැන ලැබී තිබෙනවා.

ක්‍රීඩකයන් දෙස අවධානය යොමු කරද්දී ශ්‍රී ලංකා තුන් ඉරියව් තරුව, වනිඳු හසරංග වෙත වැඩි බලාපොරොත්තුවක් තැබිය හැකි යි.

ICC පන්දුවාර 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් තුළ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවෙහි අංක එකේ ස්ථානයේ පසුවන්නේ ඔහු යි.

ඔස්ට්‍රේලියානු පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා එම ලැයිස්තුවෙහි 04 වැනි ස්ථානයේ සිටිනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවෙහි 04 වැනි තැන ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල් තහවුරු කරගෙන සිටින අතර 05 වැනි ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාවෙහි වනිඳු හසරංග යි.

මෙම සියළු දෑ සලකා බලන විට මෙම තරග 05 තියුණු මුහුණුවරක් ගත හැකි බවට උපකල්පනය කළ හැකි යි.

කෙසේ වෙතත් තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ කිහිපදෙනෙකුම කොවිඩ් 19 වෛරසයට ගොදුරු වූවා.

කොවිඩ් ආසාදනය වූ වේගපන්දු යවන ක්‍රීඩකයින්වන චාමික කරුණාරත්න සහ නුවන් තුෂාර මේවන විට සුව අතට පත්ව සිටින අතර කුසල් මෙන්ඩිස් කොවිඩ් වෛරසයේ ගොදුරක් බවට පත් නවතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.

ඒ අනුව මෙන්ඩිස් හට පළමු තරග කිහිපය අහිමිවන බව ශ්‍රී ලංකා වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක පවසා සිටියා.

මෙන්ඩිස් වෙනුවට කඩුළු රකින ක්‍රීඩකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කිරීමට නියමිත යි.

පසුගිය 20 විස්ස ලෝක කුසලානය ජයගැනීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව සහභාගීවන පළමු තරගාවලිය වන්නේ ද මෙය යි.

මෙම තරගාවලියේ දී ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්වන ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් විවේක ගන්වා ඇති බව වාර්තාවනවා.

ඒ වෙනුවට ජෝෂ් ඉංග්ලිස් සහ බෙන් මැක්ඩේමෝට් යන ක්‍රීඩකයින් පිටියට කැඳවා තිබෙනවා.

බිග් බෑෂ් තරගාවලියේ දී මැක්ඩේමෝට්ගේ පිතිකරණ දක්ෂතා විශේෂයෙන් කැපී පෙණුනා.

එමෙන්ම අද තරගය ඔවුන්ගේ පළමු විස්සයි 20 ජාත්‍යන්තර තරගය ද වනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්:

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජනිත් ලියනගේ, කමිල් මිෂාර, ජෙෆ්රි වැන්ඩසේ, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු කුමාර, නුවන් තුෂාර සහ ශිරාන් ප්‍රනාන්දු

ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින්:

ඒරන් ෆින්ච් (නායක), බෙන් මැක්ඩේමෝට්, ජොෂ් ඉන්ග්ලිස්, ස්ටීවන් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ඇඩම් සම්පා සහ ජොෂ් හෙසල්වුඩ්

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 14:12