April 25, 2024

විරාත් කෝලිට ඉන්දීය නායකත්වය අරහං වෙයි : ඉතිරිව තිබූ නායකත්වයෙනුත් ඉල්ලා අස්වෙයි

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක විරාත් කෝලි වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මීට පෙර ඔහු දැරූ ඉන්දීය එක් දින හා විස්සයි විස්ස කණ්ඩායම් වල නායකත්වයෙන්ද ඉවත් කරනු ලැබුවා.

ඉතිරිව තිබූ නායකත්වය

එනිසා ඔහුට ඉතිරිව තිබුණේ ඉන්දීය ටෙස්ට් නායකත්වය පමණයි.

දකුණු අප්‍රිකාව හා ඉන්දියාව සමග ටෙස්ට් තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 -1 ලෙස පරාජය වීමත් සමඟයි කෝලි මෙම තීන්දුව ගනු ලැබුවේ.

දකුණු අප්‍රිකාව තුල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ටෙස් ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කොට නැහැ.

තරගාවලියේ බලාපොරොත්තුව

කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම මෙවර දකුණු අප්‍රිකාවට පලමු වතාවට ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් දකුණු අප්‍රිකාව තුල ජයග්‍රහණය කිරීමේ අරමුණින්.

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදීද කෝලි මතභේදාත්මක සිද්ධීන් රැසකට මුහුණ දුන්නා.

විශේෂයෙන්ම දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවති තීරණාත්මක 3 වැනි ටෙස්ට් තරගයේදී 3 වෙනි විනිසුරු තීරණය වෙනස් කිරීම සඳහා සලකා බැලීමේ ක්‍රමවේදයට (DRS) අනුව දුන් තීරණයකට විරෝධය පෑම වස් කෝලි විකට්ටුවේ ඇති මයික්‍රෆෝනයෙන් එම තීන්දුව හෙළා දකිමින් කළ ප්‍රකාශය මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

හෙලා දැකීම

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් පවා එම සිද්ධිය හෙළා දකිමින් ප්‍රකාශ කළේ කෝලි දරුවෙකුටවත් ආදර්ශයක් ගත නොහැකි පුද්ගලයකු ලෙසටයි.

ඒ සම්බන්ධයෙන් කෝලිට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විනය පියවරක් නොගැනීමද මේ වන විට විවේචනයට ලක්ව තිබෙනවා.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දීය සතු මුදල් බලය මත ICC ඉන්දියාවට බිය බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

කණ්ඩායම තුළ කැරැල්ලක්

ඉන්දීය ක්‍රිකට් නායකයා ලෙස තම තනි මතයට කණ්ඩායම තෝරා ගනිමින් තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින්ට පමණක් තැන ලබා දෙමින් විරාත් කෝලි ගෙන ගිය වැඩ පිළිවෙළට එරෙහිව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨතම ක්‍රීඩකයින් තුළින්ම විරෝධතා පැන නැඟුණා.

විරාත් කෝලි ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වූයේ 2015 වර්ෂයේදී.

ඒ එවකට සිටි ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීම නිසයි.

නායකත්ව වාර්තාව

විරාත් කෝලි ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරග 68 කදී මෙහෙයවා ඇති අතර ඉන් තරඟ 40 ක් ජයගෙන ඇති අතර තරග 17 ක් පරාජය වී තිබෙනවා.

ජය පැරදුමෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 11ක්.

විරාත් කෝලි නායකත්වයෙන් ඉවත් වූයේ හැමදේකම අවසානයක් තිබෙනවා යැයි සඳහන් කරමින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 January 2022 20:20