April 18, 2024

තරගයට සතියයි! උගුරේ ලෙඩෙන් හෙළි වූ දෙය නිසා අවිශ්ක ඉවතට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම, ප්‍රවේගකාරී පිතිකරුවෙකුවන අවිශ්ක ප්‍රනාන්දු හට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි වාර්තා වෙනවා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලියට දින කිහිපයක් තිබිය දී යි.

මේ අනුව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙහි පැවැත්වෙන එම එක්දින තරගාවලිය අවිශ්කට අහිමි වී යනු ඇති.

උගුරේ ආබාධය

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව 18 දෙනෙකුගෙන් යුතු සංචිතයක් තෝරාගනු ලැබුවා.

එම 18 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු ලෙස 29 දෙනෙකුට ඊයේ (09) දින PCR පරීක්ෂණයක් සිදු කොට ඇති බව සඳහන්.

අදාළ පරීක්ෂණ වාර්තා ලැබෙන්නටත් පෙර අවිශ්ක ප්‍රනාන්දු හට උගුරේ අපහසුතාවක් හටගෙන ඇති අතර ඒ අනුව ඔහු කොළඹ නවලෝක රෝහලට ගොස් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් (රැපිඩ් ඇන්ටිජන්) සිදු කර තිබෙනවා.

එහි දී අනාවරණය වී ඇත්තේ ඔහු ආසාදිතයෙකු බවට යි.

සිම්බාබ්වේ කණ්ඩායම දින 03ක් තනිකරයි

තරගාවලියට සහභාගීවන සිම්බාබ්වේ කණ්ඩායම හෙට (10) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

අලුයම 2.00ට පමණ මෙරටට පැමිණෙන ඔවුන් හට ගුවන්තොටුපොලේ දීම PCR පරීක්ෂණ සිදු කිරීමට සූදානම් කොට ඇති බව යි වාර්තා වන්නේ.

එම පරීක්ෂණවලින් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම මහනුවර කරා රැගෙන යාමට නියමිතව ඇති අතර ඔවුන් දින 03ක් ඔවුන්ගේ හෝටල්වලටම සීමා කිරීමට නියමිත යි.

ඉන් අනතුරුව 14 වැනි දා පුහුණුවීම් කටයුතු සඳහා අවසර ලැබෙන බව සඳහන්.

16 වැනි දා ආරම්භවන මෙම තරගාවලියට එක් දින තරග 03ක් අන්තර්ගත වනවා.

ශානකගේ තත්ත්වය

මේ අතර ශ්‍රී ලංකා එක්දින නායක දසුන් ශානක ද පසුගිය දා කොවිඩ් ආසාදිත වූවා.

කෙසේ වෙතත් තමා මේවන විට සුවය ලබා ඇති බවයි ඔහු පැවසූවේ.

ඒ අනුව ඔහුට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකිවනු ඇතැයි වාර්තා වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 09 January 2022 09:51