March 28, 2024

චීන ටෙනිස් ක්‍රීඩිකාව අතුරුදන් වීමේ අභිරහස

November 25, 2021

චීන ටෙනිස් ක්‍රීඩිකා “පෙන්ග් ශුආයි” සති දෙකකට පෙර චීන රජයේ ඉහළ නිලධාරියෙකුට එරෙහිව ලිංගික අතවර චෝදනා එල්ල කළ දිනයේ සිට ඇය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොතිබුණි.

අතුරුදන් වූ චීන ටෙනිස් ක්‍රීඩිකා පෙන්ග් ශුආයි ඉරිදා (නොවැ.21) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති සමග විඩියෝ සංවාදයක් සිදුකර ඇතැ යි වාර්තා වෙනවා.

නමුත් කාන්තා ටෙනිස් සංගමය ප්‍රකාශ කරන්නේ, එම සංවාදය පෙන්ග්ගේ යහපැවැත්ම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට පිළිතුරු සපයන්නේ නැති බව යි.

පෙන්ග් සුවෙන් සහ ආරක්‍ෂිතව පසුවන්නේයැ යි පෙනෙන බව විඩියෝ සංවාදයෙන් පසු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශකර තිබෙනවා.

ඔලිම්පික් කමිටුව නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වුණේ, පෙන්ග් "ඇගේ යහපැවැත්ම ගැන සැලකිලිමත් වීම ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත ස්තුතිය පුද කර සිටි" බව යි.

"ඇය බීජිංහි ඇගේ නිවසේ වෙසෙන බවත්, ආරක්ෂිතව සහ හොඳින් පසුවන බවත්, කෙසේ නමුත් මේ අවස්ථාවේ ඇයගේ පෞද්ගලිකත්වයට ගරු කරන්නේ නම් තමා ඊට කැමති බවත් ඇය පැහැදිලි කර තිබුණා"

"ඇය මේ මොහොතේ සිය මිතුරන් සහ පවුල සමග කාලය ගත කිරීමට කැමැත්තක් දක්වයි," ඔලිම්පික් කමිටු ප්‍රකාශය සඳහන් කරා. කෙසේ වෙතත්, ඇය දිගටම ටෙනිස් ක්‍රීඩාවේ නියැලෙනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් බව වාර්තාවනවා.

වීඩියෝ ඇමතුම සිදුවන ආකාරය පිළිබඳ රූපයක් ද ඔලිම්පික් කමිටු ප්‍රකාශයට ඇතුළත් වූ අතර, පෙන්ග් කැමරාවට සිනා සෙමින් සිටිනු එහි දැකගන්න පුලුවන්.

මීට පෙර ද, චීන රජයට අනුබද්ධ මාධ්‍ය සංවිධානයක් වන ග්ලෝබල් ටයිම්ස්හි කර්තෘ හු ෂීජින්, පෙන්ග් පොදු ස්ථානයක පසුවන බව පෙන්වන වීඩියෝ දර්ශන ට්විටර්හි පළ කර තිබුණා.

පසුගිය සෙනසුරාදා (නොවැ.20) පලකළ එවැනි වීඩියෝවකින් දැක්වුණේ පෙන්ග් අවන්හලක දී තවත් පුද්ගලයින් ද සමග ආහාර ගනිමින් සිටිනා දර්ශනයකි.

එහි ඇතිවූ සංවාදය අතරතුර, කණ්ඩායමේ සිටි පිරිමියෙකු "හෙට නොවැම්බර් 20යැ"යි පවසන අතර, කාන්තාවක් එය නොවැම්බර් 21 බව පවසමින් ඔහු නිවැරදි කරනවා.

මෙම සංවාදය, දිනය අවධාරණය කිරීම සඳහා සැලසුම් සහගතව රූගත කළ එකක්දැ යි ඇතැම් ට්විටර් පරිශීලකයින් ප්‍රශ්න කර තිබුණා.

ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටි බව පෙන්වන කිසිදු වීඩියෝවක් චීන සමාජ මාධ්‍ය තුළින් තවමත් සොයාගත නොහැකි වී තිබෙනවා.

Rate this item
(0 votes)