April 25, 2024

කොදෙව්වෝ බිමටම වැටෙයි! ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් අබියස!

November 24, 2021

ICC ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (24) නිමා වූවා.

දිනය නිල වශයෙන් නිමා කිරීමට යෙදී තිබූ වේලාවට ප්‍රථම ක්‍රීඩා කිරීම නතර කිරීමට සිදු වූ අතර එයට හේතුව වූයේ අයහපත් ආලෝක තත්ත්වය යි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දී විශිෂ්ඨ ලෙස දස්කම් දැක්වූ අතර මේවන විට ඔවුන් සිටින්නේ විශිෂ්ඨ ටෙස්ට් ජයග්‍රහණයක් අභියස යි.

සුපිරි ජයක් අභියස

මේවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 52ක් ලබා සිටිනවා.

ඒ අනුව ඔවුන්ට ලැබී ඇති ඉලක්කය ලකුණූ 348ක්වන අතර තරගය ජය ගැනීමට නම් හෙට (25) දිනය තුළ කොදෙව්වන් තවත් ලකුණූ 296ක් ලබා ගත යුතු යි.

කෙසේ වෙතත් එය අසීරු ඉලක්කයක් බැවින් ඉතිරි වී ඇති කඩුළු 04 ආරක්ෂා කරගනිමින් හෙට දිනය නිමා වෙන තෙක් ක්‍රීඩා කර තරගය ජය පරාජයකින් තොරව අවසන් කරගැනීමට කොදෙව්වන් උත්සහ දරනු ඇති.

නමුත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් ඉතා හොඳ ජවයකින් සිටින අතර තරගය ජය ගැනීම සඳහා අවසන් දිනයවන හෙට දිනය තුළ ඔවුන් බිඳ හෙළිය යුතු වන්නේ තවත් කඩුළු 04ක් පමණ යි.

ගතවූ දින තුන කෙටියෙන්

21 වැනි දා මෙම තරගය ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඊට පසු දා එනම් තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා (22) ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළු දෙනා දැවී ගිය අතර ඔවුන් රැස් කළ ලකුණු ගණන 386ක්.

පළමු ඉනිමේ දී නායක දිමුත් කරුණාරත්න ලකුණූ 147ක් ද, ධනංජය ද සිල්වා ලකුණූ 61ක් ද, පැතුම් නිස්සංක ලකුණු 56ක් ද රැස් කළා.

කොදෙව් පළමු ඉනිම පෙරේදා (22) පස්වරුවේ ආරම්භ වූ අතර එදින අවසන්වන විට ඔවුන් කඩුලු 06ක් දැවී ලබා සිටියේ ලකුණූ 113ක් පමණයි.

තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (23) දහවල් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූවා.

එබැවින් තරගය ඊයේ දිනට අතහැර දැමීමට තීරණය වූ අතර ඒවන විට කොදෙව්වන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 09ක් දැවී ලකුණූ 224ක් ලබා සිටියා.

අද දිනයේ තොරතුරු

තරගයේ සිව්වැනි දිනය වූ අද (24) දිනය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙරවරු 09.45ට වුවත් පිටිය තෙත සහිත වී තිබූ නිසා එය පැයක පමණ කාලයක් ප්‍රමාද වූවා.

10.45ට පමණ තරගයේ සිව්වැනි දිනය ඇරඹෙන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි බටහිර ඉන්දීය කොදෙව්වන් කඩුලු 09ක් දැවී ලබා සිටි ලකුණු ගණන 224ක්.

නොඑසේ නම්, ලකුණු 386ක් වූ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණූ 162ක අඩුවෙන් සිටින මොහොතක යි අද දිනය ආරම්භ වූයේ.

කෙසේ වෙතත් අවසාන කඩුල්ල වෙනුවෙන් ජෝෂුවා ද සිල්වාට සහ ෂැනෝන් ගෙබ්‍රියල්ට ගොඩ නැගීමට හැකි වූයේ ලකුණූ 06ක සබඳතාවක් පමණයි.

අවසාන කඩුල්ල ලෙස ගෙබ්‍රියල්ව දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වූවා.

ලකුණූ 02ක් ලබා සිටි ෂැනෝන් ගෙබ්‍රියල් එලෙස දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්.

අනෙක් පස නොදැවී ක්‍රීඩා කරමින් සිටි ජෝෂුවා ද සිල්වා පන්දු 94කට මුහුණ දී ලබාගෙන සිටියේ ලකුණු 15ක් පමණ යි.

පන්දුවාර 86ක් ගෙවී ගොස් තිබිය දී ඒ අයුරින් බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම නිමා වූ අතර සියළු දෙනා දැවී ඔවුන් හට ලබා ගත හැකි වූයේ ලකුණු 230ක් පමණයි.

ඒ අනුව සිය පළමු ඉනිම නිමාවන විට කොදෙව්වන් ලකුණූ 156ක් පිටුපසින් සිටියා.

ශ්‍රී ලංකා පන්දු යැවීම්

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිමේ දී වැඩිම කඩුළු ලාභියා වූයේ විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් ජයවික්‍රම යි.

පන්දුවාර 20ක් යැවූ ඔහු ලකුණූ 40කට බිඳ දැමූ කඩුළු ගණන 04ක්.

රමේෂ් මෙන්ඩිස් පන්දුවාර 17ක් යවමින් කඩුළු 03ක් දවාගත්තා.

ඒ ලකුණු 75කට යි.

ලසිත් ඇඹුල්දෙණිය, ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ වී විනාඩි කිහිපයක් ගත වෙද්දී පළමු කඩුල්ල දවා ගන්නට රහ්කීම් කෝන්වෙල් සමත් වූවා.

එලෙස දැවී ගියේ පැතුම් නිස්සංක යි.

නිස්සංකගේ පිත්තෙහි වැදුණු පන්දුව උඩපන්දුවක් ලෙසින් රැක ගැනීමට ෂායි හෝප් සමත් වුණා.

පළමු ඉනිමේ දී ලකුණු 56ක් රැස් කරමින් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංකට දෙවැනි ඉනිමේ දී ලබාගත හැකි වූයේ ලකුණූ 03ක් පමණ යි.

මුලු ලකුණු ගණන 39ක් වෙද්දී ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල ද දැවී ගියා.

ජොමෙල් වාරිකන් යැවූ පන්දුවකට කඩුල්ල මුවාකරමින් එලෙස දැවී ගියේ ඕෂධ ප්‍රනාන්දු යි.

ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණූ 14ක් පමණ යි.

ඉනිමෙහි ආරම්භයේ දී ම මෙලෙස කඩුලු දෙකක් දැවී ගොස් තිබූ පසුබිමක නායක දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක ශක්තිමත් සබඳතාවක් ගොඩ නැගුවා.

ලකුණු 147ක් ලබාගෙන පළමු ඉනිම ශක්තිමත් කළ දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිම වෙනුවෙන් අද දිනයේ අර්ධ ශතකයක් ලබා ගත්තා.

කෙසේ වෙතත් ලකුණු 83ක් ලබා සිටිය දී ඔහු අවාසනාවන්ත අයුරින් දැවී ගියා.

රහ්කීම් කෝන්වෙල් යැවූ පන්දුවකට ජෙර්මයින් බ්ලැක්වුඩ් අතට උඩපන්දුවක් ලබා දී දිමුත් කරුණාරත්න එලෙස දැවී යන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමෙහි මුලු ලකුණු ගණන සටහන්ව තිබුණේ 162ක් ලෙස යි.

පළමු ඉනිමේ දී සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 61ක් ලබා ගත් ධනංජය ද සිල්වා හට අද දිනයේ දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණ යි.

පන්දු යැවූ ජොමෙල් වාරිකන් වෙතටම උඩපන්දුවක් ලබා දෙමින් ඔහු දැවී ගියා.

මීළඟ පිතිකරු ලෙස පැමිණි දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණූ 28ක සබඳතාවක් ගොඩ නැගුවා.

ලකුණු ගණන 191ක් බවට පත් වෙද්දී නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ දෙවැනි ඉනිම නතර කිරීමට යි.

ඒවන විට ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 69ක් ලබා සිටියා.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණූ 10 යි.

කොදෙව් දෙවැනි ඉනිම

ශ්‍රී ලංකාව වැඩි වාසි අතැතිව සිය දෙවැනි ඉනිම එලෙස නිමා කිරීමෙන් අනතුරුව තම දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට කොදෙව් ක්‍රීඩකයන් පිටියට පිවිසුණා.

ඒවන විට ශ්‍රී ලංකාව කොදෙව්වන්ට වඩා ඉදිරියෙන් සිටි ලකුණු ගණන 347ක්.

වෙනත් ආකාරයකින් කිවහොත් තරගය ජයගැනීම සඳහා කොදෙව් පිතිකරුවන්ට අද සහ හෙට දිනයන් ඇතුළත ලකුණු 347ක් ලබා ගැනීමේ ඉලක්කයක් ලැබී තිබුණා.

එවැනි ඉලක්කයක් වෙත යාම අසීරු බැවින් හෙට දිනය ද ගෙවී යන තෙක් කඩුළු ආරක්ෂා කරගනිමින් ක්‍රීඩා කර තරගය ජය පරාජයකින් තොරව අවසන් කරගැනීම ඔවුන්ගේ අරමුණ වූවා.

කෙසේ වෙතත් කොදෙව් කණ්ඩායමේ එම අරමුණ බොඳ කරවමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රියාත්මක වූයේ ඉතාමත් අඩු ලකුණු ගණනකට කොදෙව් කඩුළු කිහිපයක්ම දවා ගනිමින්.

කොදෙව් පළමු කඩුල්ල දැවී ගියේ මුළු ලකුණු ගණන 03ක් බවට පත්ව තිබියදී යි.

ඉනිමෙහි සිව්වැනි පන්දුවාරය යැවූ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් නායක ක්‍රෙයිග් බ්‍රත්වෙයිඩ් එලෙස දැවී ගියා.

ඔහුට එකදු ලකුණක් හෝ ලබාගත හැකි වූයේ නැහැ.

මුලු ලකුණු ගණන 11 වෙද්දී දෙවැනි කඩුල්ල දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වූවා.

ජෙරමයින් බ්ලැක්වූඩ් එල්ල කළ පහරක් අනර්ඝ උඩපන්දුවක් ලෙසින් රැකගත්තේ ඇන්ජලෝ මැතිව්ස් විසින්.

බ්ලැක්වූඩ් එලෙස දැවී යද්දී ලකුණු 09ක් ලබා සිටියා.

ඉනිමෙහි 10 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී බටහිර ඉන්දීය කොදෙව් 03 වැනි කඩුල්ල ද බිඳ වැටුණේ ශ්‍රී ලංකාව වෙත ජයග්‍රහණයේ මාවත තවදුරටත් විවර කර දෙමින්.

රමේෂ් මෙන්ඩිස් යැවූ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී එලෙස දැවී ගියේ ලකුණු 03ක් පමණක් ලබා සිටි ෂයි හෝප්.

ඊට විනාඩි කිහිපයකට පසු ලසිත් ඇඹුල්දෙණිය විසින් සිව්වැනි කඩුල්ල ද බිඳ හෙලීමට සමත් වුණා.

එක් ලකුණක් පමණක් ලබා සිටි රොස්ටන් චේස් එලෙස දැවී ගියේ පන්දුව කඩුල්ලේ වැදීමෙන්.

ඒවන විට කොදෙව් මුලු ලකුණු ගණන සටහන් වූයේ 15ක් ලෙසින්.

මුලු ලකුණූ ගණන 18ක් වෙද්දී රමේෂ් මෙන්ඩිස් යළි ක්‍රියාත්මක වූ අතර ලකුණු 02ක් ලබා සිටි කයිල් මයර්ස් කඩුල්ල මුවා කිරීමට හසු කරගනිමින් දවා ගැනීමට ඔහු සමත් වූවා.

එම කඩුල්ල ලබා ගත් පන්දුවට පසුව යැවූ පන්දුවෙන් තවත් කඩුල්ලක් දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වූයේ තමන් විශිෂ්ඨ පන්දු යවන්නෙකු බව ඔප්පු කරමින්.

තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කිසිදු ලකුණක් නොලබා ජේසන් හෝල්ඩර් එලෙස දැවී ගියා.

මේ අයුරින් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමෙහි කඩුළු 06ක් බිඳ වැටුණේ ලකුණු 18ක් තුළ වීම විශේෂත්වයක්.

එමෙන්ම ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වැය වූයේ පන්දුවාර 11යි පන්දු 4ක් පමණ යි.

කෙසේ වෙතත් කොදෙව් ඉනිම යම් තරමක් හෝ ස්ථාවර කිරීමට කෘමා බෝනර් සහ ජෝෂුවා ද සිල්වා උත්සහ ගත්තා.

පන්දු 83ක් තුළ ඔවුන් දෙදෙනා එක්ව ගොඩනැගූ ලකුණු සබඳතාව 34ක්.

කෙසේ වෙතත් තරගයේ තත්ත්වය මේ ආකාරයක් ගනිද්දී විනිසුරුවරුන් තීරණය කළේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද දිනයේ තරගය නතර කිරීමට යි.

ඒ අනුව සිව්වැනි දිනය නිමාවන විට කෘමා බෝනර් ලකුණු 17ක් ලබා සිටින අතර ජෝෂුවා ද සිල්වා ලකුණූ 15ක් ලබා සිටිනවා.

කඩුළු 06ක් දැවී ගොස් ඇති කොදෙව් දෙවැනි ඉනිමෙහි මුලු ලකුණු ගණන 52ක්.

මේ අනුව හෙට දින පෙරවරු 9.45ට තරගය ආරම්භවන අතර ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඉතිරිව ඇත්තේ තවත් කඩුලු 04ක් පමණ යි.

හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනය යි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 November 2021 18:49