April 19, 2024

අද තරගයේ ඇරඹුම වෙනස් වෙයි! සිව්වැනි දිනයට පෙර ඔබ දැනගත යුතුම කරුණු!

November 24, 2021

ICC ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (24) යි.

දිනය ආරම්භ කරන වේලාව යෙදී තිබුණේ පෙරවරු 10ට වුවත් අද දිනය මඳක් කල් වේලා ඇතුව ඇරඹීමට යි තීරණය වී ඇත්තේ.

ඒ, ඊයේ (23) දිනයේ ක්‍රීඩා කිරීමට තිබූ පැය ගණනාවක කාලයක් වර්ෂාව හේතුවෙන් අපතේ යාම සැළකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත් අද දිනය කලින් ආරම්භ කිරීම තුළින් ලැබෙන අමතර කාලය විනාඩි 15ක් පමණක් වීම විශේෂත්වයක්.

වෙනත් අයුරකින් කිවහොත්, දිනය ආරම්භ කිරීමට නියමිතව තිබූ වේලාවට වඩා විනාඩි 15ක කාලයකට පෙරාතුව අද දින තරගය ආරම්භ කිරීමට සූදානම්ව තිබෙනවා.

ඒ අනුව උදෑසන 9.45ට ගාලු පිටියේ දී මෙම තරගයේ සිව්වැනි දිනය ආරම්භ වීමට නියමිත යි.

තරගයේ දැන් තත්ත්වය

තරගයේ මේවන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.

කෙසේ වෙතත් කොදෙව් පළමු ඉනිම හමාර කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට ලබා ගැනීමට ඉතිරිව ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණයි.

කඩුළු 09ක් දැවී කොදෙව්වන් රැස් කරගෙන සිටින ලකුණූ ගණන 224ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 386ක් රැස් කළා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම, ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණූ 162ක් පසුපසින් පවතිනවා.

ඊයේ නැවතුණු තරගය

ශ්‍රී ලංකාවට වැඩි වාසි සහිත අවස්ථාවක දී ඊයේ (23) දිනයේ තරගය හදිසියේ නතර කිරීමට සිදු වූවා.

ඒ ගාලු පිටියට ඇදහැලෙන්නට පටන් ගත් වර්ෂාව හමුවේ යි.

දිවා ආහාරය සඳහා වූ විරාමයෙන් අනතුරුව තරගය පැවැත්වීමට හැකි වූයේ විනාඩි කිහිපයක් පමණක් වූ අතර වැසි තත්ත්වය හමුවේ පිටිය ආවරණය කිරීම සිදු වූවා.

ඉන් අනතුරුව යළි තරගය ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

අවසානයේ තීරණය වූයේ දිනය අතහැර දැමීමට යි.

ඊයේ දිනයේ තොරතුරු

තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (23) දිනය ආරම්භවන විට බටහිර ඉන්දීය කොදෙව්වන් කඩුලු 06ක් දැවී ලබා සිටියේ ලකුණූ 113ක් පමණයි.

කෙසේ වෙතත් පන්දුවට පහර දෙමින් සිටි ජේසන් හෝල්ඩර් සහ කායිල් මයෙර්ස් මුලු ලකුණූ ගණන 163 දක්වා රැගෙන යාමට සමත් වූවා.

එහෙත් ඔවුන් දෙදෙනා එක්ව ගොඩ නැගූ ලකුණු 63ක සබඳතාව බිඳී ගියේ ධනංජය ද සිල්වා යැවූ 58 වැනි පන්දු වාරයේ දී මයෙර්ස් දැවී යාමත් සමග යි.

නායක දිමුත් කරුණාරත්න රැකගත් ඉතා අසීරු උඩ පන්දුවකින් 07වැනි කඩුල්ල ලෙස කායිල් මයෙර්ස් දැවී ගියේ ලකුණු 45ක් ලබා සිටියදී යි.

මීලඟ පිතිකරු වූ ජෝෂුවා ද සිල්වාට සහ ජේසන් හෝල්ඩර්ට 08 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගිය හැකි වූයේ ලකුණු 12ක සබඳතාවක් පමණ යි.

ප්‍රවීන් ජයවික්‍රම යැවූ 61 වැනි පන්දු වාරයේ දී හෝල්ඩර් එල්ල කළ පහරක් මනරම් උඩ පන්දුවක් අයුරින් රැකගත්තේ දුෂ්මන්ත චමීර විසින්.

ලකුණූ 36ක් ලබා සිටි හෝල්ඩර් එලෙස දැවී යද්දී කොදෙව් මුලු ලකුණූ ගණන 175ක්ව තිබුණා.

මීලඟ පිතිකරු ලෙස පැමිණි රහ්කීම් කෝන්වෙල් තරමක ප්‍රවේගකාරීව ක්‍රීඩා කරමින් මුලු ලකුණු ගණන වර්ධනය කරන්නට සමත් වූවා.

කෝන්වෙල් සහ ද සිල්වා එක්ව ගොඩ නැගූ ලකුණු සබඳතාව 49ක්.

ඔවුන් දෙදෙනා කොදෙව් පළමු ඉනිම ලකුණූ 224 කරා රැගෙන ගියා.

කෙසේ වෙතත් 80 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී කෝන්වෙල්ව දවා ගන්නට සුරංග ලක්මාල් සමත් වූවා.

ඒ රමේෂ් මෙන්ඩිස් රැකගත් උඩ පන්දුවත් සමග යි.

රහ්කීම් කෝන්වෙල් දැවී ගියේ ලකුණූ 39කට යි.

නරඹන්න: දිමුත්, චමීර සහ රමේෂ් රැකගත් සුපිරි උඩපන්දු තුන (VIDEO)

අවසන් පිතිකරු ලෙස ෂැනන් ගේබ්‍රියල් පිටියට පිවිසියත් ඔහුට එක් පන්දුවකට හෝ මුහුණ දෙන්නට හැකියාව ලැබුණේ නැහැ.

වර්ෂාව ඇදවැටීම හේතුවෙන් ඔහුටත් අනෙකුත් ක්‍රීඩකයින් සහ විනිසුරුවරුන් දෙදෙනාටත් සිදු වූයේ ක්‍රීඩාගාරය වෙත යාමට යි.

කොදෙව් පළමු ඉනිමේ ආරම්භය

තරගය ආරම්භ වූ 21 වැනි දා කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සියළු දෙනා පළමු ඉනිමේ දී ලකුණු 386කට දැවී යාමෙන් අනතුරුව සිය පළමු ඉනිම කොදෙව්වන් ඇරඹූයේ පෙරේදා (22) පස්වරුවේ යි.

කෙසේ වෙතත් පෙරේදා (22) දිනය අවසන් වූයේ කොදෙව්වන් අසරණ තත්ත්වයකට ඇද දමමින්.

පෙරේදා (22) දිනයට තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 06ක් දැවී සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කරගෙන සිටි ලකුණූ ගණන 113ක්.

පෙරේදා කඩුළු බිඳවැටුම

තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා (22) ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා විශේෂයෙන් කැපී පෙනුනා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ඉනිමෙහි 20 වැනි පන්දු වාරයේ දී යි.

එලෙස දැවී ගියේ ලකුණු 20ක් ලබා සිටි ජෙර්මයින් බ්ලැක්වූඩ්ගේ කඩුල්ලයි.

ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් ඔහු දැවී ගියා.

එම කඩුල්ලත් සමග බිඳ වැටුණේ කොදෙව් ආරම්භක පිතිකරුවන් යුගලය ගොඩ නැගූ ලකුණූ 46ක සබඳතාව යි.

දෙවැනි කඩුල්ල දවා ගත්තේ ප්‍රවීන් ජයවික්‍රම විසින්.

කොදෙව් මුලු ලකුණූ ගණන 51ක් බවට පත් වෙද්දී එලෙස දැවී ගියේ කෘමා බෝනර්ගේ කඩුල්ලයි.

ඔහුට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණ යි.

ජයවික්‍රම යැවූ පන්දුව බෝනර්ගේ පිත්තෙහි වැදී පසුපසට විසි වූ අතර එය මනරම් උඩපන්දුවක් අයුරින් රැක ගැනීමට ධනංජය ද සිල්වා සමත් වූවා.

සිය කණ්ඩායමේ කඩුළු දෙකක් අඩු ලකුණූ ගණනක් තුළ එලෙස දැවී යද්දී ඉනිම ගොඩනැගීමේ උත්සාහයක නිරත වූ ක්‍රෙයිග් බ්‍රත්වයිට්ගේ එම උත්සාහය ව්‍යර්ථ කිරීමට රමේෂ් මෙන්ඩිස් සමත් වූවා.

මෙන්ඩිස් යැවූ පන්දුවට බ්‍රත්වයිට් එල්ල කළ පහර උඩ පන්දුවක් ලෙස රැක ගත්තේ පැතුම් නිස්සංක විසින්.

මුලු ලකුණූ ගණන 80 වෙද්දී තෙවැනි කඩුල්ල ලෙස බ්‍රත්වයිට් දැවී යද්දී ඔහු ලකුණූ 41ක් ලබා සිටියා.

එම කඩුල්ල බිඳ වැටී වැඩි වේලාවක් යන්නට මත්තෙන් සිව්වැනි කඩුල්ල ද බිඳ හෙලීමට රමේෂ් මෙන්ඩිස් පියවර ගත්තා.

ලකුණූ 10ක් ලබා සිටි ෂයි හෝප් එලෙස දැවී ගියේ කොදෙව්වන්ගේ මුලු ලකුණූ ගණන 83ක් බවට පත් වෙද්දියි.

ලකුණූ පුවරුව 86 වෙද්දී ෂෙහාන් ජයවික්‍රම යළි ක්‍රියාත්මක වූ අතර පස්වැනි කඩුල්ල ලෙස ජොමෙල් වරිකන් දවා ගැනීමට ඔහු සමත් වුණා.

වරිකන් හට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

ඔහුගේ පිත්තෙහි වැදුණු පන්දුව රැක ගත්තේ කඩුළු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් විසින්.

හයවැනි කඩුල්ල සඳහා කායිල් මයෙර්ස් සහ රොස්ටන් චේස් හට ගොඩ නැගීමට හැකි වූයේ ලකුණු 14ක සබඳතාවක් පමණයි.

ඔවුන් දෙදෙනා කොදෙව් මුලු ලකුණු ගණන 100 දක්වා රැගෙන ගිය නමුත් එසැණින් හයවැනි කඩුල්ල ද දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකින්.

40 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී මෙන්ඩිස් විසින් එලෙස දවා ගත්තේ රොස්ටන් චේස්ගේ කඩුල්ලයි. 

දැවී යද්දී ඔහු ලබා සිටියේ ලකුණු 02ක් පමණයි.

පෙරේදා දින පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණූ 23කට කඩුළු 03ක් බිඳහෙලුවා.

ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 25කට කඩුළු 02ක් බිඳ හෙලූ අතර ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 39ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවාගත්තා.

පළමු දිනය

21 වැනි දා පළමු දිනය ආරම්භයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව පිටියට පිවිසුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලයවන දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු සබඳතාව 139ක්.

එය ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරුවන් යුගලයක් කොදෙව් කණ්ඩායමකට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණූ සබඳතාව ද වනවා.

එමෙන්ම සිය පස්වැනි ටෙස්ට් තරගයට සහභාගී වූ පැතුම් නිස්සංක ඔහුගේ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ද ලබා ගත්තා.

කෙසේ වෙතත් නිස්සංක ලකුණු 56ක් ලබා සිටිය දී දවා ගන්නට ශැනෝන් ගේබ්‍රියල් සමත් වූවා.

මීලඟ පිතිකරුවන් වූ ඔසඳ ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් යන දෙදෙනාටම සාර්ථක වීමට රොස්ටන් චේස් ඉඩ ලබා දුන්නේ නැහැ.

එම දෙදෙනාම ලකුණූ 03 බැගින් ලබා සිටිය දී දවා ගන්නට චේස් සමත් වූවා.

කඩුළු 03ක් එලෙස දැවී යද්දී පිටියට ආ ධනංජය ද සිල්වා අනෙක් පස සිටි දිමුත් කරුණාරත්න සමග එක්ව අගනා සබඳතාවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කරමින්.

සිය 09 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට ද ඔහු සමත් වූවා.

එමෙන්ම නායක දිමුත් කරුණාරත්න පෙරේදා සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළා.

එය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දිමුත් ලබා ගත් දෙවැනි ටෙස්ට් ශතකය ද වනවා.

තව ද මෙම වසර තුළ දිමුත් ලබාගත් සිව්වැනි ටෙස්ට් ශතකය ද මෙය යි.

පන්දුවාර 88ක් අවසානයේ දී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් දැවී ලකුණු 267ක් ලබාගෙන ශක්තිමත් ස්ථාවරයක පසු වූවා.

දිනය නිමා වෙද්දී දිමුත් කරුණාරත්න නොදැවී ලකුණූ 132ක් ද ධනංජය ද සිල්වා නොදැවී ලකුණූ 56ක් ද ලබා සිටියා.

තරගය අතරතුරේ දිමුත් එල්ල කළ පහරක් හිසෙහි වැදී කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ අනතුරකට භාජනය වීම ද කැපී පෙනුණු සිදුවීමක් වූවා.

සිය මංගල ටෙස්ට් ජාත්‍යන්තර තරගයේ දීම ඔහු මෙලෙස අනතුරකට ලක් වූ අතර ඔහු වහාම රෝහල්ගත කිරීමට පියවර ගැනුණා.

නරඹන්න: පළමු තරගය මැද සිදුවූ අවාසනාවන්ත අනතුර (VIDEO)

දෙවැනි දිනය

හොඳින් පිටියෙහි ස්ථාවර වී සිටි දිමුත් සහ ධනංජය, තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා (22) දිනය ඇරඹූවේ ජයග්‍රාහී මානසිකත්වයකින්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සිව්වැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා දැවී ගියේ අවාසනාවන්ත ආකාරයකට යි.

ෂැනන් ගේබ්රියල් යැවූ 95 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවට ධනංජය පහරක් එල්ල කළ නමුත්, පොළවෙහි ගැටී පන්දුව කඩුල්ල දෙසට පොළා පැනීම හේතුවෙන් එය බේරා ගැනීම පිණිස ධනංජය පන්දුවට යළිත් වරක් පහර දීමට උත්සහ දැරුවා.

කෙසේ වෙතත් එම උත්සාහය අසාර්ථක වූයේ “හිට් විකට්” ආකාරයෙන් ධනංජයගේ පිත්ත කඩුල්ලේ වැදීමත් සමගයි.

නරඹන්න: හැමෝම කතා වුණ ධනාගේ අමුතු දැවී යාම (VIDEO)

එලෙස දැවී යන විට ධනංජය ද සිල්වා ලකුණු 61ක් ලබා සිටියා.

ධනංජය සහ දිමුත් එක්ව ගොඩ නැගූ ලකුණු සබඳතාව 111ක්.

ඉනිමෙහි 100 වැනි පන්දු වාරයේ දී දිමුත් කරුණාරත්න ද දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමෙහි ප්‍රාණවත් බව හීන කරමින්.

රොස්ටන් චේස් එවූ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක ජෝෂුවා ද සිල්වා විසින් ස්ටම්ප් කිරීමකට ලක් කළ අතර දිමුත් කරුණාරත්න දැවී ගිය ක්‍රීඩකයෙකු බවට තෙවැනි විනිසුරු රවීන්ද්‍ර විමලසිරි තීරණය කළා.

තමන් මුහුණ දුන් 300 වැනි පන්දුවට එලෙස දැවී යද්දී දිමුත් ලකුණූ 147ක් ලබාගෙන සිටියා.

දිනේෂ් චන්දිමාල් ද අර්ධ ශතකයකට ලඟා වූ නමුත් එය ව්‍යර්ථ වූයේ ලකුණූ 45ක් ලබා සිටි ඔහු දවා ගැනීමට රොස්ටන් චේස් සමත් වූ නිසා යි.

අනෙකුත් පිතිකරුවන්ට සැළකිය යුතු ලකුණු ප්‍රමාණයක් අතරට ඒමට හැකි වූයේ නැහැ.

රමේෂ් මෙන්ඩිස් ලකුණූ 13කටත්, සුරංග ලක්මාල් ලකුණූ 11කටත් දැවී යද්දී දුෂ්මන්ත චමීර හට ලබා ගත හැකි වූයේ ලකුණූ 03ක් පමණ යි.

අවසානයේ ඉතිරි වූ ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම ඉවසිලිවන්ත ලෙස ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ඉනිමට එකතු කිරීමට උත්සහ ගත් නමුත් රොස්ටන් චේස් විසින් ඇඹුල්දෙණියගේ කඩුල්ල දවා ගැනීමත් සමග ශ්‍රී ලංකා ඉනිම අවසන් වූවා.

ඇඹුල්දෙණිය දැවී ගියේ ලකුණූ 17කට යි.

අනෙක් අන්තයේ සිටි ප්‍රවීන් ජයවික්‍රම නොදැවී ලකුණූ 08ක් ලබා සිටියා.

කොදෙව් පන්දු යවන්නෝ

ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රොස්ටන් චේස් කඩුළු 05ක් බිඳහෙළුවා.

ඔහු එක් ඉනිමක් තුළ කඩුළු 05ක් බිඳ හෙලූ 04 වැනි අවස්ථාව ලෙස යි මෙය ඉතිහාසගත වූයේ.

ඔහුට අමතරව ෂැනෝන් ගේබ්‍රියල් කඩුළු 02කුත්, ජොමෙල් වරිකන් කඩුළු 03කුත් බිඳහෙළුවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 November 2021 08:20