March 29, 2024

සිංහයින්ගේ පළමු ඉනිම අවසන් වූයේ මෙහෙමයි

November 22, 2021

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය මේවන විට ක්‍රියාත්මක යි.

මෙම තරගාවලිය ICC ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පැවැත්වෙන්නක් ද වනවා.

අවසන් කඩුල්ල ද කොදෙව් පන්දු යවන්නන් විසින් දවා ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම අද (22) දහවල් අවසන් වූවා.

සියළු දෙනා දැවී ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 386ක්.

පළමු දිනය

ඊයේ, පළමු දිනය ආරම්භයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව පිටියට පිවිසුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලයවන දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු සබඳතාව 139ක්.

එය ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරුවන් යුගලයක් කොදෙව් කණ්ඩායමකට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණූ සබඳතාව ද වනවා.

එමෙන්ම සිය පස්වැනි ටෙස්ට් තරගයට සහභාගී වූ පැතුම් නිස්සංක ඔහුගේ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ද ලබා ගත්තා.

කෙසේ වෙතත් නිස්සංක ලකුණු 56ක් ලබා සිටිය දී දවා ගන්නට ශැනෝන් ගේබ්‍රියල් සමත් වූවා.

මීලඟ පිතිකරුවන් වූ ඔසඳ ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් යන දෙදෙනාටම සාර්ථක වීමට රොස්ටන් චේස් ඉඩ ලබා දුන්නේ නැහැ.

එම දෙදෙනාම ලකුණූ 03 බැගින් ලබා සිටිය දී දවා ගන්නට චේස් සමත් වූවා.

කඩුළු 03ක් එලෙස දැවී යද්දී පිටියට ආ ධනංජය ද සිල්වා අනෙක් පස සිටි දිමුත් කරුණාරත්න සමග එක්ව අගනා සබඳතාවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කරමින්.

සිය 09 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට ද ඔහු සමත් වූවා.

එමෙන්ම නායක දිමුත් කරුණාරත්න ඊයේ සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළා.

එය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දිමුත් ලබා ගත් දෙවැනි ටෙස්ට් ශතකය ද වනවා.

තව ද මෙම වසර තුළ දිමුත් ලබාගත් සිව්වැනි ටෙස්ට් ශතකය ද මෙය යි.

පන්දුවාර 88ක් අවසානයේ දී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් දැවී ලකුණු 267ක් ලබාගෙන ශක්තිමත් ස්ථාවරයක පසු වූවා.

දිනය නිමා වෙද්දී දිමුත් කරුණාරත්න නොදැවී ලකුණූ 132ක් ද ධනංජය ද සිල්වා නොදැවී ලකුණූ 56ක් ද ලබා සිටියා.

ඊයේ දිනය අතරතුරේ දිමුත් එල්ල කළ පහරක් හිසෙහි වැදී කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ අනතුරකට භාජනය වීම ද කැපී පෙනුණු සිදුවීමක් වූවා.

සිය මංගල ටෙස්ට් ජාත්‍යන්තර තරගයේ දීම ඔහු මෙලෙස අනතුරකට ලක් වූ අතර ඔහු වහාම රෝහල්ගත කිරීමට පියවර ගැනුණා.

වීඩියෝව නරඹන්න: පළමු තරගය මැද සිදුවූ අවාසනාවන්ත අනතුර

දෙවැනි දිනය

හොඳින් පිටියෙහි ස්ථාවර වී සිටි දිමුත් සහ ධනංජය අද දිනය ඇරඹූවේ ජයග්‍රාහී මානසිකත්වයකින්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සිව්වැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා දැවී ගියේ අවාසනාවන්ත ආකාරයකට යි.

ෂැනන් ගේබ්රියල් යැවූ 95 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවට ධනංජය පහරක් එල්ල කළ නමුත්, පොළවෙහි ගැටී පන්දුව කඩුල්ල දෙසට පොළා පැනීම හේතුවෙන් එය බේරා ගැනීම පිණිස ධනංජය පන්දුවට යළිත් වරක් පහර දීමට උත්සහ දැරුවා.

කෙසේ වෙතත් එම උත්සාහය අසාර්ථක වූයේ ධනංජයගේ පිත්ත කඩුල්ලේ වැදීමත් සමගයි.

එලෙස දැවී යන විට ධනංජය ද සිල්වා ලකුණු 61ක් ලබා සිටියා.

ධනංජය සහ දිමුත් එක්ව ගොඩ නැගූ ලකුණු සබඳතාව 111ක්.

ඉනිමෙහි 100 වැනි පන්දු වාරයේ දී දිමුත් කරුණාරත්න ද දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමෙහි ප්‍රාණවත් බව හීන කරමින්.

රොස්ටන් චේස් එවූ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක ජෝෂුවා ද සිල්වා විසින් ස්ටම්ප් කිරීමකට ලක් කළ අතර දිමුත් කරුණාරත්න දැවී ගිය ක්‍රීඩකයෙකු බවට තෙවැනි විනිසුරු රවීන්ද්‍ර විමලසිරි තීරණය කළා.

තමන් මුහුණ දුන් 300 වැනි පන්දුවට එලෙස දැවී යද්දී දිමුත් ලකුණූ 147ක් ලබාගෙන සිටියා.

දිනේෂ් චන්දිමාල් ද අර්ධ ශතකයකට ලඟා වූ නමුත් එය ව්‍යර්ථ වූයේ ලකුණූ 45ක් ලබා සිටි ඔහු දවා ගැනීමට රොස්ටන් චේස් සමත් වූ නිසා යි.

අනෙකුත් පිතිකරුවන්ට සැළකිය යුතු ලකුණු ප්‍රමාණයක් අතරට ඒමට හැකි වූයේ නැහැ.

රමේෂ් මෙන්ඩිස් ලකුණූ 13කටත්, සුරංග ලක්මාල් ලකුණූ 11කටත් දැවී යද්දී දුෂ්මන්ත චමීර හට ලබා ගත හැකි වූයේ ලකුණූ 03ක් පමණ යි.

අවසානයේ ඉතිරි වූ ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම ඉවසිලිවන්ත ලෙස ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ඉනිමට එකතු කිරීමට උත්සහ ගත් නමුත් රොස්ටන් චේස් විසින් ඇඹුල්දෙණියගේ කඩුල්ල දවා ගැනීමත් සමග ශ්‍රී ලංකා ඉනිම අවසන් වූවා.

ඇඹුල්දෙණිය දැවී ගියේ ලකුණූ 17කට යි.

අනෙක් අන්තයේ සිටි ප්‍රවීන් ජයවික්‍රම නොදැවී ලකුණූ 08ක් ලබා සිටියා.

කොදෙව් පන්දු යවන්නෝ

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රොස්ටන් චේස් කඩුළු 05ක් බිඳහෙළුවා.

ඔහු එක් ඉනිමක් තුළ කඩුළු 05ක් බිඳ හෙලූ 04 වැනි අවස්ථාව ලෙස යි මෙය ඉතිහාසගත වූයේ.

ඔහුට අමතරව ෂැනෝන් ගේබ්‍රියල් කඩුළු 02කුත්, ජොමෙල් වරිකන් කඩුළු 03කුත් බිඳහෙළුවා.

කොදෙව් පළමු ඉනිම

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළු දෙනා දැවී යාමෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ආරම්භ වූවා.

මෙම පුවත පළ කරන අවස්ථාව වන විට (පස්වරු 4.00) කොදෙව්වන් එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලබා සිටිනවා.

ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකට දැවී ගිය ක්‍රීඩකයා බවට පත් වූයේ ජෙර්මයින් බ්ලැක්වූඩ්.

ඔහු ලකුණු 20ක් ලබා ගත්තා.

නායක ක්‍රයිග් බ්‍රත්වයිට් ලකුණූ 27ක් ලබා ක්‍රීඩා කරන අතර අනෙක් පස සිටින කෘමා බොනර් කිසිදු ලකුණක් මෙතෙක් ලබාගෙන නැහැ.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 November 2021 18:01