April 20, 2024

දිමුත්, නිස්සංක සහ ධනංජය ගාලු පිටියේ වැඩ පෙන්වයි (VIDEO)

November 22, 2021

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය ඊයේ (21) සවස අවසන් වූවා.

ඒ ගාල්ල ජාත්‍යන්තර පිටියේ දී යි.

(තරගයේ විශේෂ අවස්ථා වීඩියෝව මෙම සටහන අවසානයේ)

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව පිටියට පිවිසුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලයවන දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු සබඳතාව 139ක්.

එය ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරුවන් යුගලයක් කොදෙව් කණ්ඩායමකට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණූ සබඳතාව ද වනවා.

එමෙන්ම සිය පස්වැනි ටෙස්ට් තරගයට සහභාගී වූ පැතුම් නිස්සංක ඔහුගේ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ද ලබා ගත්තා.

කෙසේ වෙතත් නිස්සංක ලකුණු 56ක් ලබා සිටිය දී දවා ගන්නට ශැනෝන් ගේබ්‍රියල් සමත් වූවා.

මීලඟ පිතිකරුවන් වූ ඔසඳ ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් යන දෙදෙනාටම සාර්ථක වීමට රොස්ටන් චේස් ඉඩ ලබා දුන්නේ නැහැ.

එම දෙදෙනාම ලකුණූ 03 බැගින් ලබා සිටිය දී දවා ගන්නට චේස් සමත් වූවා.

කඩුළු 03ක් එලෙස දැවී යද්දී පිටියට ආ ධනංජය ද සිල්වා අනෙක් පස සිටි දිමුත් කරුණාරත්න සමග එක්ව අගනා සබඳතාවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කරමින්.

සිය 09 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට ද ඔහු සමත් වූවා.

එමෙන්ම නායක දිමුත් කරුණාරත්න ඊයේ සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළා.

එය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දිමුත් ලබා ගත් දෙවැනි ටෙස්ට් ශතකය ද වනවා.

තව ද මෙම වසර තුළ දිමුත් ලබාගත් සිව්වැනි ටෙස්ට් ශතකය ද මෙය යි.

පන්දුවාර 88ක් අවසානයේ දී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් දැවී ලකුණු 267ක් ලබාගෙන ශක්තිමත් ස්ථාවරයක පසු වූවා.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණූ 132ක් ද ධනංජය ද සිල්වා නොදැවී ලකුණූ 56ක් ද ලබා සිටිනවා.

තරගය අතරතුරේ දිමුත් එල්ල කළ පහරක් හිසෙහි වැදී කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ අනතුරකට භාජනය වීම ද කැපී පෙනුණු සිදුවීමක් වූවා.

සිය මංගල ටෙස්ට් ජාත්‍යන්තර තරගයේ දීම ඔහු මෙලෙස අනතුරකට ලක් වූ අතර ඔහු වහාම රෝහල්ගත කිරීමට පියවර ගැනුණා.

වීඩියෝව නරඹන්න: පළමු තරගය මැද සිදුවූ අවාසනාවන්ත අනතුර

මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ තරග තීරකවරයෙකුවන රංජන් මඩුගල්ලේ මහතා මෙම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන අතර ඔහු මෙලෙස ආරම්භ කළේ සිය 200වැනි තරගය වීම ද විශේෂත්වයක්.

මෙම තරගාවලිය ICC ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පැවැත්වෙන්නක් ද වනවා.

තරගයේ දෙවැනි දිනය අද (22) පෙරවරු 10ට ආරම්භ වීමට නියමිත යි.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 November 2021 09:27