March 29, 2024

ශ්‍රී ලංකා පාපන්දුවේ තීරණාත්මක දිනය අදයි

November 19, 2021

වසර 21කට පසු ශ්‍රී ලංකා පාපන්දු පිලට ප්‍රධාන ශූරතාවක් දිනා ගැනීමේ අවස්ථාව අද දිනයේ උදා වී තිබෙනවා.

වසර 2000දී මාලදිවයිනේ පැවැති මාලදිවයින ජනාධිපති කුසලාන ආරාධිත පාපන්දු තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා පිල මේ වන තුරු ප්‍රධාන පාපන්දු තරඟාවලියක ශූරතාවක් දිනා නැහැ.

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරඟාවලියේ ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් අතර, අවසන් මහා තරඟය අද පස්වරු 7ට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ගිහානී ඉන්ෆැන්ටිනෝ මහතාගේ ප්‍රධානත්වයෙන් රිඩ් මාවත තුරඟ තරඟය පිටියේදී පැවැත්වෙනවා.

මේ අවසන් මහා තරඟයේ විශේෂ ආරාධිතයන් ලෙස ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් හා තානාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතයි.

වසර 15කට පසුව අන්තර්ජාතික පාපන්දු තරඟාවලියක අවසන් මහා තරඟයකට පිවිසීමේ අවස්ථාව දුෂ්කර ගමනකින් පසු ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ උදා කර ගත්තා.

එැබැවින් මේ අවසන් තරඟයේදී සීෂෙල්ස් පිල පරාජයට පත් කරනු ඇතැයි විශාල විශ්වාසයක් පවතිනවා.

මාලදිවයිනේ පැවැති දකුණු ආසියා ක්‍රීඩා උලෙළේදී ප්‍රබල ඉන්දීය පිල සමඟ තරඟය ජය පරාජයෙන් තොරව නිමා කිරීමෙන් හා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මේ තරඟාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමෙන් ශ්‍රී ලංකා පාපන්දු බලාපොරොත්තු කලකට පසු ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාව අවසන් වරට පාපන්දු තරඟාවලියක අවසන් මහා තරගයට පිවිස ඇත්තේ වසර 2006දී කොළඹ සුගතදාස පිටියේ පැවැති දකුණු ආසියා පාපන්දු තරඟාවලියේදී වන අතර, එහිදී ගෝල් 1-0කින් පාකිස්තානයට ජය හිමි විය.

අනතුරුව සහභාගිවූ කිසිදු තරඟාවලියක අවසන් මහා තරඟයකට හෝ ශ්‍රී ලංකා පාපන්දු පිල සුදුසුකම් ලබා නැති එබැවින් වසර ගණනාවක් ජයග්‍රහණ සොයමින් එකතැන කල්මැරූ ශ්‍රී ලංකා පාපන්දු පිලට අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරඟාවලිය ඉතා හොඳ අවස්ථාවක් වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ ආශිර්වාදය හා ක්‍රීඩා පිටියේදී සංගීත නාද රටා සමඟ ලැබෙන දැවැන්ත සහයෝගය මේ තරඟයේදී ශ්‍රී ලංකා පාපන්දු පිලට අමතර වාසියක් වී තිබෙනවා.

කෙසේ හෝ මෙම තරඟය ජයගෙන ශ්‍රී ලංකාවේ පාපන්දු  ක්‍රීඩාවට නව උත්තේජනයක් ගෙනඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වේවායි පතමු.

Rate this item
(0 votes)