April 19, 2024

ලක්වැසියන්ට විශේෂ පණිවිඩයක් දී මිකී ආතර් ශ්‍රී ලංකාව හැර යයි

November 17, 2021

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා එම තනතුරින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ලංකාවාසීන් වෙත විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමත් සමගින් තමන් ආ ගමන කණගාටුවෙන් වුව ද අවසන් කිරීමට සිදුවන බව යි.

ඒ අනුව 21 වැනි දා ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමන් නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ධූරයට සමු දෙන බව යි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකාව නමැති අපූර්ව දේශයේ පුහුණුකාර ධූරය දැරූ කාලය තුළ ගෙවුණු සෑම විනාඩියකටම තමන් ආදරය කරන බව ද ආතර් මහතා ප්‍රකාශ කරනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ටත්, ශ්‍රී ලංකා වාසීන්ටත් තමන් ස්තූතිවන්තවන බව ද ඔහු සඳහන් කළා.

තව ද තමන් මෙරට පුහුණුකාර ධූරය ආරම්භ කළ අවස්ථාව හා සසඳන කල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේවන විට ඉතා හොඳ ස්ථානයක පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ අතර තම කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස මිකී ආතර් මහතාව පත් කළ බවට එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ සිය කණ්ඩායමට ආතර් මහතාව සාදරයෙන් පිළිගන්නා බව යි.

එයට පිළිතුරු ලෙස මිකී ආතර් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඩර්බිෂයර් කණ්ඩායමට පැමිණ “වෙනසක්” කරන්නට තමන් නොයිවසිල්ලෙන් බලා සිටින බව යි.

මේවන විට 53 වැනි වියෙහි පසුවන මිකී ආතර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක් වූයේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ යි.

ඔහුගේ ගිවිසුම් කාලය අවසන් වීමට නියමිතව ඇති අතර එය දීර්ඝ නොකර ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වීමට යි ඔහු තීරණය කර ඇත්තේ.

හිටපු දකුණූ අප්‍රිකානු ක්‍රීඩකයෙකුවන ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට සම්බන්ධ වීමට පෙර පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඊට පෙර ඔහු දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල් තුළ ඇති ප්‍රාන්ත සහ ලීග් කණ්ඩායම්වල ද පුහුණුකාර ධූරය හොබවා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 November 2021 21:09