April 25, 2024

'නායක' කෝලිගේ අවසන් තරගයට සිදු වූ දේ

November 09, 2021

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අවසන් තරගය ඊයේ (08) රාත්‍රියේ අවසන් වූවා.

තරගය පැවැතියේ ඉන්දියාව සහ නැමීබියාව අතර යි.

මේවන විටත් අවසන් පූර්ව වටයේ දී තරග වදින කණ්ඩායම් හතර තෝරා අවසන් වූයෙන් ඊයේ තරගය මෙම තරගාවලියට බලපෑමක් ඇති කරවූයේ නැහැ.

කෙසේ වෙතත් ඉන්දීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් තරගය නැරඹීමට පැමිණ සිටියා.

ඊයේ නිමා වූයේ ඉන්දියානු කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී සහභාගී වූ අවසන් තරගය යි.

එමෙන්ම එය විරාත් කෝලි නායකත්වය දැරූ අවසන් විස්සයි විස්ස තරගය ද වනු ඇතැයි පැවසෙනවා.

මෙම තරගාවලියෙන් අනතුරුව නායකත්වය රෝහිත් ෂර්මා වෙත පැවරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සූදානම්වන බවට යි වාර්තා වන්නේ.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ඉන්දීය නායක විරාත් කෝලි විසින්.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසි නැමීබියානු පිතිකරුවන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 132ක් රැස් කර ගත්තා.

ඩේවිඩ් වීස ලකුණු 26ක් ලබා ගත් අතර ස්ටීවන් බාඩ් ලකුණු 21ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 16කට කඩුලු 03ක් ද, රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණූ 20කට කඩුලු 03ක් ද ලබා ගත්තා.

ජස්පිට් බූම්රා ලකුණු 19කට කඩුලු 02 යි.

ලකුණු 136ක පහසු ඉලක්කයක් කරා පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේ සිය පිළිතුරු ඉනිම නිම කළා.

ඒ, එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 136ක් වාර්තා කරමින්.

ලකුණූ 56ක් ලබා සිටිය දී එලෙස දැවී ගියේ රෝහිත් ෂර්මාගේ කඩුල්ල යි.

කේ.එල්. රාහුල් නොදැවී ලකුණු 54ක් ලබා ගත් අතර සූර්යකුමාර් යාදේව් නොදැවී ලකුණු 25 යි.

ඉන්දියාව තරගය ජය ගත්තේ කඩුළු 09කින්.

තරගයේ වීරයා බවට පත් වූයේ රවීන්ද්‍ර ජඩේජා යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 November 2021 09:59

Related items