March 29, 2024

ලෝක ශූරතාවයට පෙර දින ක්‍රිස් ගේල් මුහුණ දුන් දුක්බර සිදුවීම

November 07, 2021

ලොව එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ටතම විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිස් ගේල්.

මේ නිසා නිසාම ඔහුව "යුනිවර්සල් බොස්" නැමැති අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනවා.

දක්ෂතා අතරට නොපැමිණීම

42 හැවිරිදි ක්‍රිස් ගේල් හට මෙවර විස්සයි විස්ස ලෝක ශූරතාවලියේදී දක්ෂතා අතරට ඒමට බැරි වුණා.

සුපිරි 12 වටයේ තරඟ 5ටම ක්‍රීඩා කළ gale ලබා ගත්තේ පිළිවෙලින් ලකුණු 13,12,4 ,1,15 ආදී වශයෙන් ලකුණු 45ක් පමණයි.

දෙවතාවක්ම විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතාව දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රිස් ගේල් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු සුන් වීම පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙන්නේ ඉතා වැදගත් කරුණක්ද මතක් කර දෙමින්.

පළමු තරඟයට පෙර

ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගි මුල්ම තරගය වූ එංගලන්තයට එරෙහි තරඟයට පෙර තමන්ට මුහුණදීමට සිදු වූ දුක්බර සිදුවීමක් පිළිබඳව.

මෙම තරගය ආරම්භ වීමට සුළු වේලාවකට පෙර ක්‍රිස් ගේල් කණ්ඩායමට එකතු වූයේ යළිත් සිය මව් රට වූ ජැමෙයිකාවේ සිට ආ සැනින්.

ඒ ඔහුගේ පියා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම මත.

ක්‍රිස් ගේල් ඒ ගැන කියන්නේ මෙන්න මෙහෙමයි.

පියාගේ තත්ත්වය

"බොහෝ දෙනෙක් දන්නේ නැහැ මගේ පියා අසනීප වීම නිසා පළමු තරඟයට (එංගලන්තය සමග) පෙර රාත්‍රියේ මට ඉතා කඩිනමින් ජැමෙයිකාවට යන්න සිද්ධ වුණ එක ගැන. මම එහෙම ගිහින් වෛද්‍යවරයා ඔහු ගැන කියන්නේ කුමක්දැයි ඇසුවා"

සිය පියාගේ වත්මන් තත්ත්වය ගැන ක්‍රිස් ගේල් සඳහන් කරන්නේ ක්‍රිකට් බාසාවෙන්.

"ඔහු හොඳට පහර දෙනවා. වයස අවුරුදු 91යි. ඒත් ටිකක් ඔහුට අපහසුතා තිබෙනවා. මේ තරගාවලිය ඉක්මන් වූ විගසම මම ජැමෙයිකාවේ ඔහු සිටින තැනට යන්න ඕන"

"ඇතැම් වෙලාවට ක්‍රීඩකයන් තමන්ට ක්‍රීඩා කරන්න සිදුවන පසුබිම පිළිබඳව කියන්නේ නැහැ. එය පෙන්වන්නේ නැහැ. මොකද අපිට කරන්න රාජකාරියක් තිබෙන නිසා. මේවා තිරය පිටුපස තිබෙන කාරණා. ක්‍රීඩකයෙකුගේ වගකීම වන්නේ ඒවා පැත්තක තබා දස්කම් දැක්වීම"

ජාත්‍යන්තර පිටියට සමු දීම

ක්‍රිස් ගේල්ගේ බලාපොරොත්තුව වූයේ එළඹෙන වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයටත් ක්‍රීඩා කොට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් ගැනීමටයි.

එහෙත් දැන් ඔහු එම අදහස වෙනස් කොට තිබෙනවා.

තවමත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදෙන බව ඔහු නොකියන්නේ ඒ නිසා.

ක්‍රිස් ගේල්ගේ බලාපොරොත්තුව තමන්ගේ මව් රට වන ජැමෙයිකාවේදී පවත්වන තරගයකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අවසන් වරටත් ක්‍රීඩා කොට තම ක්‍රීඩා ලෝලීන්ට ගෞරව දක්වා ක්‍රීඩා පිටියෙන් සමු ගැනීමටයි.

Rate this item
(8 votes)
Last modified on Sunday, 07 November 2021 16:14