April 19, 2024

වනිඳුගෙන් හැට්‍රික් එකක්! අවසන් මොහොතේ සියල්ල කනපිට හැරෙයි!

උණුසුම් තරගයක නිමාව

පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

අවසන් පන්දුවාරය දක්වා තරගය ඉතාමත් උණුසුම්කාරී වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ඉනිම

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉනිම අවසන් වූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ සියළු දෙනා දැවී ලකුණු 142ක් ලබා ගනිමින්.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්නේ දක්ෂතාවයන් ශ්‍රී ලංකා ඉනිමේ දී කැපී පෙනුණු අතර සාර්ථක ලෙස ක්‍රීඩා කළේ පැතුම් නිස්සංක පමණයි.

සිය කණ්ඩායමේ අනෙකුත් පිතිකරණ සගයින් අසාර්ථක වී අඩු ලකුණූ ගණනකට දැවී යද්දී එල්ල වූ පීඩනය මධ්‍යයේ නිස්සංක අගනා ඉනිමක් ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට යම් තරමක් හෝ බලාපොරොත්තු තැබිය හැකි ලකුණූ ප්‍රමාණයකට මුලු ලකුණු ගණන රැගෙන යමින්.

පන්දු 58ක් තුළ පැතුම් නිස්සංක ලකුණූ 72ක් ලබාගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 06ක් අන්තර්ගත වූවා.

චරිත් අසලංක පන්දු 14ක් තුළ ලකුණු 21ක් ලබා ගත්තා.

නායක දසුන් ශානක ලකුණූ 11යි.

අනෙක් එකදු පිතිකරුවෙකුට අංක දෙකක ලකුණූ ප්‍රමාණයකට ලඟා වීමට හෝ හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ටබ්‍රයිස් ශම්සි සහ ඩ්වේන් ප්‍රෙටෝරියස් යන දෙදෙනාම ලකුණූ 17කට කඩුලු 03 බැගින් ලබා ගත්තා.

අන්රික් නොර්කියා ලකුණු 27කට කඩුළු 02යි.

දකුණු අප්‍රිකා ඉනිම

ලැබුණු ලකුණූ 143ක ඉලක්කය පහසු ලෙස පෙනුනත් එය කිසි සේත් සත්‍යයක් නොවූයේ ශ්‍රී ලංකා පන්දුයවන්නන් ඉතාමත් විශිෂ්ඨ තරගයක් ලබා දීමත් සමග යි.

දකුණු අප්‍රිකානු ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකු වන රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 11කටත් ක්වින්ටන් ඩි කොක් ලකුණු 12කටත් දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුණා.

එම කඩුළු දෙකම දැවී ගියේ තුන්වැනි පන්දු වාරයේ දියි.

ලකුණූ ලබා ගැනීමේ වේගය ද වැඩි කරගන්නට දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට අසීරු වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන් ද විශිෂ්ඨ අයුරින් ක්‍රීඩා කළ නිසා යි.

තුන්වැනි කඩුල්ල ලෙස රසී වැන් ඩර් ඩසන් දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමට නායක දසුන් ශානක සමත් වුණා.

ඩසන් ලබා සිටියේ ලකුණු 16ක් පමණ යි.

හසරංගගෙන් හැට්‍රික් එකක්

මීලඟ කඩුලු 03ම වනිඳු හසරංග දවාගත්තේ කඩුළු ත්‍රිත්වයක් (හැට්‍රික්) ලෙසින්.

ලකුණු 19ක් ලබා සිටි ඒඩන් මාක්‍රම්, නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 46ක් ලබා සිටි ටෙම්බා බවුමා සහ ලකුණූ නොලබාම දැවී ගිය ඩ්වේන් ප්‍රෙටෝරියස් එම කඩුළු තුන වූවා.

හසරංගගේ කඩුලු ත්‍රිත්වයේ 03 වැනි කඩුල්ල ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමේ 06 වැනි කඩුල්ල එලෙස දැවී ගියේ 18 වැනි පන්දුවාරයේ දියි.

එවිට දකුණු අප්‍රිකානුවන් ලබා සිටියේ ලකුණූ 112ක් පමණ යි.

තියුණු අවසානය

කෙසේ වෙතත් ඩේවිඩ් මිලර් සහ කගීසෝ රබාඩා එක්ව දකුණූ අප්‍රිකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ දැරුවත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ලකුණු ලබා ගැනීම ඔවුන්ට ඉතා අසීරු වූවා.

තරගයේ අවසන් පන්දු වාරය අභියෝගාත්මක ලෙස ඉතිරි වූයේ දකුණු අප්‍රිකානු ඉලක්කය පන්දු 06කට ලකුණු 15ක් ලෙසින්.

තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි ඒ මොහොතවන තුරු සැවොම සිතුවත් සියල්ල වෙනස් වූයේ ලහිරු කුමාර විසින් යැවූ අවසන් පන්දුවාරයේ දි යි.

සියල්ල විසඳුණු අවසන් පන්දුවාරය

අවසන් පන්දු වාරයේ පළමු පන්දුවට එක් ලකුණකින් පමණක් සෑහීමකට පත් වන්නට රබාඩාට සිදුවූ අතර තරගය උඩු යටිකුරු වූයේ දෙවැනි පන්දුවට සහ තෙවැනි පන්දුවට පිට පිටම හයේ පහර දෙකක් එල්ල කිරීමට ඩේවිඩ් මිලර් සමත් වීමත් සමග යි.

සිව්වැනි පන්දුවට මිලර් එක් ලකුණක් ලබා ගත් අතර ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රයත්නය ව්‍යර්ථ වූයේ අවසන් පන්දු වාරයේ පස්වැනි පන්දුව කගීසෝ රබාඩාගේ පිත්තෙහි වැදී හතරේ සීමාව දක්වා ගමන් ගැනීමත් සමග යි.

ඒ අනුව තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී දකුණූ අප්‍රිකානු කණ්ඩායම කඩුළු 06කට ලකුණූ 146ක් ලබා ගනිමින් තරගය ජයගත්තේ කඩුළු 04කින්.

ලකුණූ 17කට කඩුලු 03ක් බිඳ හෙලූ ටබ්‍රයිස් ශම්සි තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

සිංහයින්ගේ කුසලාන සිහිනය

මෙම තරග පරාජයත් සමග මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග වටයට පිවිසීමේ බලාපොරොත්තු ශ්‍රී ලංකාව වෙතින් ඈතට ගියා.

තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසා සිටියේ මෙම කාණ්ඩයේ මුල් ස්ථාන දෙක වෙත යාම මේවන විට අවිනිශ්චිත වුවත් මීලඟ තරග ජයගෙන සිය කණ්ඩායමේ අභිමානය රැක ගැනීමට බලාපොරොත්තුවන බව යි.

මෙම තරගය නිමාවීමත් සමග ප්‍රසාද ලකුණු 04ක් ලබා පළමු කාණ්ඩයේ තුන්වැනි ස්ථානයේ තවදුරටත් ස්ථාවර වන්නට දකුණු අප්‍රිකාව සමත් වූවා.

ඒ +0.210ක දල ලකුණු ලබාගැනීමේ වේගයක් සමගින්.

සුපිරි 12 වටයේ මෙතෙක් සහභාගී වූ තරග 03න් 01ක් පමණක් ජය ගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණූ 02ක් ලබා -0.350ක දල ලකුණු ලබාගැනීමේ වේගයක් සමගින් ලකුණු පුවරුවෙහි සිව්වැනි ස්ථානයේ පසුවනවා.

පළමු කාණ්ඩයේ පළමු තැන එංගලන්තයටත් දෙවැනි තැන ඔස්ට්‍රේලියාවටත් හිමි වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 October 2021 19:59