March 29, 2024

අද තීරණාත්මක තරගයට පෙර ඔබ දැනගත යුතුම කරුණු

කාසියේ වාසිය

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට අයත් තරග 45න් 25වැනි තරගය තවත් ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිත යි.

සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ තරගයක්වන මෙහි දී තරගවදින්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව යි.

තරගයේ කාසියේ වාසිය මීට සුළු මොහොතකට පෙර දිනා ගත්තේ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා විසින්.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසෙනු ඇති.

ෂාජා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (30) සවස 3.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රේණිගත කිරීම්

ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව මේවන විට පසුවන්නේ 09 වැනි ස්ථානයේ යි.

එහෙත් දකුණූ අප්‍රිකාව 05 වැනි ස්ථානයේ පසුවනවා.

ඒ අනුව සලකා බැලූ විට ප්‍රබල කණ්ඩායම ලෙස හැඳින්විය හැක්කේ දකුණු අප්‍රිකාව යි.

මෙතෙක් හමුවීම්

ශ්‍රී ලංකාව සහ දකුණූ අප්‍රිකාව අතර පවත්වා ඇති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගවල දී වැඩි ජයග්‍රහණ ප්‍රතිශතයක් වාර්තා කරගෙන ඇත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින්.

දෙපාර්ශවය අතර තරග 16ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඉන් 10කම ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත්ව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග 05ක් පමණයි.

එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන්ව තිබෙනවා.

කෙසේ වෙතත් දකුණූ අප්‍රිකාව සහභාගී වී ඇති අවසන් විස්සයි විස්ස තරග 05 සළකා බැලූ විට ඉන් 04ක්ම ජය ගෙන තිබෙනවා.

විශේෂත්වය වන්නේ එලෙස ජයගෙන ඇති තරග 04න් 03ක්ම ශ්‍රී ලංකාවට එරෙහිව ජයගත් ඒවා වීම යි.

ජය පරාජයෙන් සම තත්ත්වයේ

මෙවර ලෝක කුසලාන සිහිනය තවදුරටත් සිතෙහි තබාගන්නේ ද නැද්ද යන්න කෙරෙහි අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු අප්‍රිකාවට ද තීරණාත්මක වනවා.

දෙපාර්ශවයම මේවන විට සුපිරි 12 වටයේ තරග දෙකක් ක්‍රීඩා කර ඇති අතර ඉන් එක බැගින් ජයගෙන තිබෙනවා.

මෙම වටයේ දී තමන් සහභාගී වූ පළමු තරගයේ දී ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 05ක පරාජයක් ලැබූ දකුණු අප්‍රිකාව දෙවැනි තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 08ක ජයක් වාර්තා කළා.

ශ්‍රී ලංකාව මෙම වටයේ පළමු තරගය ලෙස බංග්ලාදේශය සමග පැවැති තරගය කඩුලු 05කින් ජයග්‍රහනය කළ නමුත් පෙරේදා පැවැත් දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 07කින් පරාජයට පත් වුණා.

ඒ අනුව මෙම තරගාවලියේ සුපිරි 12 වටයේ තරග ජය පරාජයන් දෙස බැලූ විට දෙපාර්ශවයම සම තත්ත්වයේ පසුවනවා.

එමෙන්ම කණ්ඩායම් දෙකම මෙතෙක් පරාජය වී ඇත්තේ ඔස්ට්‍රේලියාවට යි.

ලකුණූ පුවරුව

කෙසේ වෙතත් ලකුණූ පුවරුවේ ස්ථානය තීරණය වීමට ජය පරාජයට අමතරව දල ලකුණු ලබා ගැනීමේ වේගය ද සලකා බලන අතර පළමු කාණ්ඩයේ ලකුණූ පුවරුවෙහි මේ මොහොතවන විට දකුණූ අප්‍රිකාව සිටින්නේ තෙවැනි ස්ථානයේ යි.

ඒ ප්‍රසාද ලකුණු 02ක් සහ +0.179ක දල ලකුණූ ලබාගැනීමේ වේගයක් පවත්වා ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම ද ප්‍රසාද ලකුණු 02ක් හිමිකරගෙන සිටියත් දල ලකුණු ලබාගැනීමේ වේගය -0.416ක් වන බැවින් ඔවුන් පසුවන්නේ පළමු කාණ්ඩයේ සිව්වැනි ස්ථානයේ යි.

පළමු කාණ්ඩයේ පළමු ස්ථානයට එංගලන්තයත්, දෙවැනි ස්ථානයට ඔස්ට්‍රේලියාවත් පත්ව සිටිනවා.

එමෙන්ම පස්වැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව්වන්ටත් සයවන හෙවත් අවසන් ස්ථානය බංග්ලාදේශයටත් හිමිව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 October 2021 15:07