April 25, 2024

නෙට්බෝල් නිලවරණයේ පහකට විරෝධතා

කොරෝනා හේතුවෙන් කල් ගිය නෙට්බෝල් සම්මේලනයේ නාමයෝජනා අලුතින් කැඳවීමට නිලවරණ කමිටුව කටයුතු කොට තිබූ අතර, නෙට්බෝල් නිලවරණය ලබන මස 15දා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ සඳහා ඉදිරිපත් කෙරුණු නාම යෝජනා 5කට විරෝධතා ගොනු ඇතිබවට වාර්තා වනවා. සභාපති තනතුරට නාමයෝජනා ලබාදී තිබූ රංජනී ජයකොඩි, හයසින්ත් විජේසිංහ හා ගීතා පතිරණ මහත්මීන්ට හා ලේකම් තනතුරට නාම යෝජනා භාර දුන් චම්පා ගුණවර්ධන හා භාණ්ඩාගාරික තනතුරට නාම යෝජනා දී තිබු පද්මිණී හොරණගේ මහත්මීන්ට එරෙහිව විරෝධතා ගොනු වී තිබෙනවා.

රංජනී ජයකොඩි මහත්මිය ලබාදී ඇති සහතිකවල දෝෂයන් ඇති බවට විරෝධතාවක් ඉදිරිපත්ව තිබූ අතර, හසින්ත් විජේසිංහ මහත්මිය දැනට පුහුණුකාරිණියක් ලෙස කටයුතු කරන බවට හා ගීතා පතිරණ මහත්මියගේ ක්‍රීඩා සමාජ සාමාජිකත්වය පිළිබඳ විරෝධතා ගොනු වී ඇති අතර චම්පා ගුණවර්ධන හා පද්මිණී හොරණගේ මහත්මීන්ට එරෙහිව පසුගිය කාලයේ නෙට්බෝල් සම්මේලනයේ සිදුව ඇතැයි කියන ගිණුම්කරණ කටයුතු සම්බන්ධයෙන් විරෝධතා නැගුණා.

විගණකාධිපතිවරයා අනුමත නොකරන ලද ගිණුම් සාමාජික සංගම්වලට ලබාදී ඇතැයි ද විරෝධතා මගින් ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේ වුවද මේ විරෝධතා සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බව නෙට්බෝල් සම්මේලනයේ නිලවරණ කමිටුව සඳහන් කර තිබෙනවා. මෙතෙක් නෙට්බෝල් සම්මේලන ඡන්ද විමසීම සඳහා සාමාජික සංගම් 33ක් ඡන්දය ප්‍රකාශ කළද මෙවර නිලවරණය සාමාජික සංගම් 24කට සීමා කොට තිබෙනවා.

මෙලෙස ඡන්ද අයිතිය අහෝසි කොට ඇත්තේ තරුණ සේවා, නිදහස් වෙළෙඳ කලාප, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකළපුව, ත්‍රිකුණාමලය, මාතර, වව්නියාව, මුලතිව්. හමුබන්තොට හා මාතර සංගම් වලටයි.

නෙට්බෝල් සම්මේලනයේ මෙතෙක් පැවැති උප සභාපති තනතුරු 3ක් හා නියෝජ්‍ය සභාපති තනතුරක් අහෝසි කොට ඇති අතර තරග කමිටු ලේකම් තනතුර ද මෙම නිලවරණයේදී නොසලකා හැර තිබෙනවා.

 නෙට්බෝල් සම්මේලනය සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපති, උප භාණ්ඩාගාරික හා උප ලේකම් යන තනතරුවලින් පමණක් සමන්විය යුතු බවට නෙට්බෝල් නිලවරණ කමිටුව තීරණය කොට තිබෙනවා.

උප සභාපතිවරයා ඡන්දයෙන් තෝරා නොගන්නා අතර එම අවස්ථාව පාසල් නෙට්බෝල් සංගමයට ලබාදී තිබෙනවා.

 

Rate this item
(0 votes)